මායා රෝගය හෙවත් Dissociative Disorder


 

මායා රෝගය, එහෙමත් නැතිනම් Dissociative Disorder තත්වය අපේ රට තුල ඉතාමත් බහුල තත්වයක් බව මුලින්ම සදහන් කළ යුතු දෙයක්.මෙම රෝග තත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම තිබිය හැකි වුනත් බහුල වශයෙන් දකින්න පුළුවන්කමක් තිබෙන්නේ ස්ත්‍රී පක්ෂය අතර.

ඒ වගේම ලේඛන ඉතිහාසය තුල දකින්නට පුළුවන් පැරණිම මානසික ආබාධයක් විදිහටත් මේ තත්වය හදුනා ගන්න පුළුවන්. අතීතයේ මෙම රෝග තත්වය හදුන්වන්න භාවිතා කරපු නම හිස්ටීරියා.විශේෂයෙන්ම කීර්තිමත් මනෝ විද්‍යාඥෙයක් වූ සිග්මන් ෆ්‍රොයිඩ්ට  මෙම රෝගයත් එක්ක ලොකු සම්බන්ධකමක් තිබෙන බව සඳහන් කළ යුතුයි.. ඔහු මෙම රෝගය නිශ්චිතවම මානසික රෝගයක් යන්න හදුනා ගන්න කටයුතු කළා වගේම මෙම රෝගයෙන් පීඩා විදපු රෝගීන් සුව කරන්න අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම හඳුන්වලා දුන්නා. මෝහන ප්‍රතිකාරය ඒ අතරින් විශේෂ ප්‍රතිකාරයක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

මෙම රෝග තත්වයේ ඇති විශේෂිත බව වන්නේ, මෙහි පදනම බවට පුද්ගලයෙකු මුහුණ දෙන ඉතා නීරස, ඉතා පීඩාකාරී ජීවන අත්දැකීම් වල ප්‍රබල බලපෑමක් තිබීමයි.එනම් පුද්ගලයෙකු කුඩා කාලයේ පටන් වැඩිහිටි වයස් සීමාවන් දක්වා හෝ ජීවිතේ මොනයම් හෝ අවස්තාවක මුහුණ දෙන දරාගත නොහැකි මානසික පීඩාකාරී බවක්, මානසික වේදනාවක් හේතු වෙන්න හැකියාවක් තිබෙනවා.උදාහරණයක් ලෙස කුඩා කාලයේ සිදුවන අපයෝජනයක්, තමන්ට ඉතා සමීප කෙනෙකුගේ හදිසි වියෝ වීමක්, ඇතැම් විට නිශ්චිත කාලයක් තුල අත්විඳපු යම් අසීමිත වූ මානිසික වේදනාවක් මෙම රෝග තත්වය මතුවෙන්න ප්‍රධාන හේතුවක්.

ඒ අනුව මොළයේ සිදුවන රසායනික වෙනස් වීම මගින් මෙම තත්වය තීව්‍ර වෙන්න අවශ්‍ය පසුබිම ගොඩනැගෙනවා. නමුත් අප එය මනෝ විද්‍යාත්මකව හඳුනා ගත යුතුයි.ඒ අනුව මනස නම් වූ ඉතා සංකීර්ණ ව්‍යුහය අයිස් කන්දකට සමාන කරන නිසාම එම උදාහරණය තුලින් මෙම රෝගයේ සොභාවය සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා ගමු.

මනෝවිද්‍යාවට අනුව පැහැදිලිවම මනසේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ඒ විඥානය සහ අවිඥානය. විඥානය උඩු සිත ලෙස හදුන්වන විට අවිඥානය යටි සිත ලෙස හදුනා ගන්නවා. ඔබ දන්නවා ඇති අයිස් කන්දක සොභාවය, අයිස් කන්දක ජලයෙන් මතුපිට වගේම ජලයෙන් යට කොටස් දෙකක් තිබෙනවා. ජලයෙන් මතුපිට තියන කොටසට වඩා ඉතා විශාල කොටසක් ජලයෙන් යට පවතිනවා. ඒ අනුව ජලයෙන් යට පවතින කොටස ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් විහිදී යන දැවැන්ත කොටසක්. මනසත් ඊට සමානයි. මනසේ උඩු සිත අයිස් කන්දක ජලයෙන් මතුපිට කොටසට සමාන කරන විට යටි හිත හෙවත් අවිඥානය අයිස් කන්දේ පහල කොටසට සමාන කරනවා. ඒ අනුව පැහැදිලි වෙනවා මනසේ යටි සිත ඉතාමත් විශාල, සංකීර්ණ කොටසක් බව.

අපි කතා කරන මායා රෝගය, මෙම උඩු සිත සහ යටි සිත අතර සිදුවෙන ක්‍රියාවලියක ප්‍රථිපලයක්. එනම් පුද්ගලයෙකුගේ උඩු සිත යනු ඔහුගේ මෑත කාලීන මතකයන් ගබඩා කරන තැනක්. ඒ අනුව ඔහු ලබන අත්දැකීම් අනුසාරයෙන් ගොඩනැගෙන මතකයන් උඩු සිත තුල යම් සැලකිය යුතු කාලයක් පවතිනවා.උදාහරණ ලෙස කුඩාකල සිට කළ කී දේ ඇතුළු බොහෝ දේ අඩු වැඩි වශයෙන් උඩු සිත නම් වූ මතක ගබඩාව තුල පවතිනවා. නමුත් යටි සිත ඊට වඩා ප්‍රබල තැනක්. යටි සිත යනු ඔබේ ජීවිත කාලය තුල ලබන අත්දැකීම් සියල්ලක ගබඩාව. එය ඔබේ උඩු සිතින් මතක තබා ගන්නා ප්‍රමාණයට වඩා විශාල ගුණයකින් මතකයන් ගබඩා කරගන්නා තැනක්. නමුත් උඩු සිත තුල ඇති මතකයන් අමතක වී ගියත් යම් ප්‍රයත්නයකින් නැවත මතකයට ගැනීමට හැකියාවක් තිබුනත් යටි සිත තුල ඇති මතකයන් එලෙස ලබා ගැනීමට හැකියාවක් නැහැ.එය යටි සිතේ සංකීර්ණ සොභාවය කියාපාන තත්වයක්.

මායා රෝගය ගොඩනැගෙන්නේ අපි කතා කරන උඩු සිතේ ඇති අමිහිරි, අතිශේයින්ම පීඩාකාරී යම් මතකයක් හෝ ආතතියක් උඩු සිතින් යටි සිතට යොමු කර එය සඟවා තැබීමට යොමුවන අවස්ථාවකයි.එනම්, ඔබ යම් අයුරක ඉහත සඳහන් කළ ආකාරයේ අමිහිරි මතකයක් සමග ජීවත් වන අවස්තාවක, තව දුරටත් එම තත්වය දරා ගත නොහැකි අවස්තාවක, ඔබේ මනස විසින්ම එම අමිහිරි බව, ආතතිය නැති කිරීමට කටයුතු කරනවා. එනම් උඩු සිතේ ඇති මතකයන් ඔබේ යටි සිතට ඇතුල් කර එය ඔබේ යටි සිති තුල සඟවා තැබීමට කටයුතු කරනවා.

එය මනෝ විද්‍යාවේ හදුනා ගන්නේ “සංරක්ෂණ ප්‍රයෝගය” නොහොත් Defence Mechanism විදිහටයි.එනම් පවතින තත්වයෙන් ආරක්ෂා වීමට මනස විසින්ම නිර්මාණය කරගන්නා ආරක්ෂණ ක්‍රමයක්. නමුත් මෙය මනස විසින් ඔබට ලබා දෙන ස්ථීර විසදුමක් ලෙස සැලකීමට හැකියාවක් නැහැ. ඒ අනුව යටි සිත තුල තැම්පත් වූ එම අමිහිරි මතකයන් සහ එම ආතතිය වෙනත් මුහුණුවරකින් නැවත ඔබට පීඩාකාරී බවක් ගෙන දෙනවා.

එවැනි අවස්තාවලදී ඇතැම් විට එය මනෝ කායික රෝගයක් ලෙස මතුව පෙනීමට බොහෝ හැකියාවක් පවතින අතර,උදාහරණ ලෙස අන්ධබාවය, අංශභාගය,වෙවිලීම,බිහිරි වීම,කිසිදු කායික මානසික වේදනාවන් නොදැනීම,අපස්මාරය වැනි කායික රෝග ලක්ෂණ මතුවීමට හැකියාවක් තිබෙනවා.නමුත් මේ සියල්ල සැබෑවටම කායික ගැටළුවක් නොවන අතර සම්පුර්ණයෙන්ම මනස මූලික වෙමින් නිර්මාණය කරන මනෝ කායික රෝග ලක්ෂණ.

එමෙන්ම, ඇතැම් විට යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළ මතකයන් සම්පුර්ණයෙන්ම අමතකවී තිබීමට හැකියාවක් පවතිනවා.එමෙන්ම තමන්ගේ ශරීරයෙන් පරිබාහිරව සිට තමන් දකින්නට හෙවත් යම් කිසි ලෙසකට තම ශරීරයෙන් වෙන්ව සිටිනවා වැනි තත්වයක් දැනෙන්නට පුළුවන්.එය බොහෝවිට මායම් වීම,අදෘශ්‍යමාන බලවේග ඇගට පැමිණි බව සඳහන් කරමින් කටයුතු කිරීම වැනි තත්වයකට සමාන කිරීමට හැකියාවක් පවතිනවා.

ඒ අනුව පැහැදිලි වන්නේ මායා රෝගයේ සොභාවය සඳහා මනසේ උඩු සිත සහ යටි සිත අතර සිදුවන මෙම අන්තර් ක්‍රියාකාරිත්වය හේතුවක් වන බවත් ඒ සඳහා පුද්ගලයෙක් මුහුණ දෙන ඉතාමත් අසහනකාරී, පීඩාකාරී වූ යම් හේතුවක් පදනම වන බවයි. එම ආතතිය සමනය කිරීම සඳහා මනස විසින්ම යොදන ප්‍රයෝගයක් හේතුවෙන් මතුවන වෙනත් ස්වරුපයක ප්‍රතිචාරයක් කායික රෝගයක් ලෙස පෙන්නුම් කලත් එය හුදෙක්ම මනෝ කායික රෝග තත්වයක් මිස සැබෑවටම කායික රෝග තත්වයක් නොවන බවයි.

එසේනම් මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? මෙම තත්වය සඳහා නිශ්චිත වශයෙන් ඖෂධ ප්‍රතිකාරයක් නොමැති වුනත් විශාදය, කාංසාව වැනි තත්වයන් සඳහා ලබාදෙන ඖෂධ බොහෝවිට භාවිතා වේ. නමුත් අවශ්‍ය ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තද මනෝ විද්‍යාත්මකව ලබාදෙන උපදේශනය ඉතා වැදගත් කාර්යයක් සිදුකරනු ලබයි.

එහිදී අදාළ රෝගියාගේ සිතිවිලි ප්‍රතිව්යුහගතකිරීම හෙවත් සිතුවිලි වල අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් පැරණි අමිහිරි මතකයන් වෙනස් කරමින් ඔහුගේ මානසික, චර්යාත්මක වෙනසකට අවශ්‍ය නිසි මග පෙන්වීම සිදු කරයි.

එබැවින් ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් මෙවන් තත්වයකින් පීඩා විදින්නේ නම් අවශ්‍ය උපදේශනයන් වෙත හා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වන්නේ, එසේ නොමැති අවස්තාවක එම පුද්ගලයා කායිකව සහ මානසිකව යන දෙයාකාරයෙන්ම අකර්මන්‍ය පුද්ගලයෙක් වන නිසයි.

රුවන් ඒකනායක

මනෝ විද්‍යා උපදේශක



Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post