මේක හැමෝටම හොදට අහල පුරුදු මාතෘකාවක්.ඒ නිසාම විය යුතුයි කාට හරි මොනයම් හෝ මානසික පීඩාකාරී සිතුවිලි තියන වෙලාවක, ඒ පුද්ගලයා ඒ ගැටලුත් එක්ක පොරබදින අවස්ථාවේ, දෛනික ජීවිතේ අනෙක් කාරණා අකර්මන්ය වෙලා තියන මොහොතක, බාහිරින් ඒ දිහා බලාගෙන ඉන්න වෙනත් කෙනෙක් කියන්නේ “ අනේ පවු, එයට Depression වගේ” කියල.
මෙන්න මේ අවබෝධය ගොඩක් හොදයි. නමුත් හොද වගේම නරකකුත් තියනවා.
හොඳ මොකද්ද කියල අහන අයට මම මෙහෙම උත්තර දෙන්නම්.
ඔබ ඇතුළු ඕනෑම කෙනෙකුට අනුව යම් පුද්ගලයෙක් යම්කිසි දැඩි අසහනකාරී මානසික තත්වයකින් පීඩා විඳින අවස්තාවක ඒ පුද්ගලයා අපි මේ කියන Depression, එහෙමත් නැත්තනම් සිංහලෙන් හදුන්වන විශාදයෙන් පෙළෙනවා යයි අනුමාන කිරීම හොද දෙයක්.
නමුත් එය වඩා හොඳ වෙන්නේ එම පුද්ගලයාගේ පවතින මානසික තත්වය සහ ඔහුගේ හැසිරීමේ සොභාවය හොඳින් නිරීක්ෂණය කර නිවැරදි අවබෝධයකින් ඒ පිළිබඳව නිගමනයකට එන එක.
දැන් මම කතා කරනම් ඔබ මේ පිළිබඳව සරලව දැනගෙන ඉන්න එකේ නරක පැත්ත.
මම කලින් කිව්වා ඔබ මෙම Depression කියන කාරණාව දැනගන්න එක හොදයි,නමුත් ඉතා හොඳ අවබෝධයකින් ඒ ගැන නිරීක්ෂණය කර නිගමනයකට එන එක වඩා හොදයි කියල.එහෙම නොවෙනවානම්, මම අර කියපු නරක මතුවෙන්න ගන්නවා.
එහෙම වෙන්නේ කොහොමද?
මානසික පීඩනය කියන දේ මතුවෙන්න විවිධ හේතු තියනවා. මේ විදිහට මානසික පීඩනයෙන් පෙළෙන හැමෝම ඉන්නේ Depression එකක කියල අපිට කියන්න අමාරුයි.ඒකට හේතුව Depression වලට අමතරව ඊට සමාන රෝග ලක්ෂණ තියන වෙනත් මානසික ගැටළුත් තියන නිසා.
හැබැයි අපි මේ කතා කරන Depression, අර වගේ සුළුවෙන් සලකන්න පුළුවන් තත්වයක් නොවෙන්නේ එය උග්ර අතට පත් වුනු අවස්තාවක පුද්ගලයෙක් තමන්ගේ ජීවිතේ පවා නැතිකරගන්න තීරණයකට එන්න පුළුවන් නිසා. එය මෙහි උපරිම අනතුරුදායක තත්වයයි.
අන්න ඒ නිසයි මම කලින් සඳහන් කලේ මේ පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයකින් නැතිව සරල අවබෝධයකින් මෙම තත්වය නිගමනය කරලා “Depression කියන්නේ කාටත් හැදෙන්න පුළුවන්, Stress එක නිසා ඕක ඔහොම වෙන්නේ” කියන නිගමනයට ඇවිත් ඒ තත්වය සරලව විග්රහ කරන්න ගියොත් අවසානයේ ඔබේ සමීපතමයෙක් ඔබට අහිමි වෙනකම් හොයාගන්න බැරිවේවි.
ඒ අනුව ඔබ Depression කියන වචනය සහ ඒ පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව ඒ ගැන කතා කරන්න යාමෙන් සිද්ධවෙන්නේ මෙම රෝග තත්වයේ තිබෙන භයානක බව පිලිබඳ අවබෝධය වෙනුවට සරල අර්ථයක් සමාජ ගත වීම.
එහි නරක ප්රතිපලයක් විදිහට Depression කියන වචනය සමාජය තුල උණ , සෙම්ප්රතිශ්යාව වගේ සරල තත්වයකට පත්වීමක් සිද්ධ වෙන්න පුළුවන්.
එය එලෙස සිදු නොවිය යුතු තත්වයක් වන්නේ , එය එලෙස සිදු වුනොත්, එහි තිබෙන භයානක බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් නොගෙන, තමන්ට සමීප අයෙකු එම තත්වයෙන් පීඩාවිදින අවස්තාවක ඒ පිළිබඳව වැඩි තැකීමක් ද නොකර,
“ඕක සාමාන්ය දෙයක්.අද කාලේ හැමෝටම ඕක තියනවා.ඒ නිසා හිත හදාගන්න” වැනි සරල විසදුමක් යෝජනා කර ඔහු හෝ ඇයව තනි කිරීමක්.
ඒ අනුව එහි අවසානයේ බොහොම අවාසනාවන්ත ප්රතිපලයක් අත්විදින්න පුළුවන්.එවිට බොහෝ දෙනෙක් ප්රමාද වැඩි වෙන්නත් පුළුවන්.
Depression රෝගයේ ප්රධාන අවස්ථා 3ක් දැකිය හැකි වෙනවා.ඒ අනුව පළමු අවස්තාව මෘදු (Mild) මට්ටමේ විශාද තත්වයක් ලෙස දක්නට ලැබෙනවා.
එහිදී රෝගියා සාමාන්ය ජීවිතයේ සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කළ අවස්ථා වලින් ඉවත් වෙමින් යම්කිසි හුදෙකලා වීමක් වැනි තත්වයක් මෙන්ම නිරන්තර කල්පනා ලොවක තනි වුනු බවක් දකින්න හැකියාවක් තිබෙනවා.මෙම තත්වය ඔහුට හෝ ඇයට ඉතා සමීප කෙනෙකුට හොදින් නිරීක්ෂණය වුනත්, වෙනත් පාර්ශවයකට එය නිවැරදිව අවබෝධ කරගැනීම යම් අයුරකට අපහසු වෙන්න පුළුවන්.
අනෙක් අවස්තාව ලෙස මධ්යම(Moderate) මට්ටමේ විශාද තත්වය හදුන්වාගන්න පුළුවන්.
මෙම තත්වය පළමු අවස්ථාවට වඩා යම් තියුණු බවක් පෙන්නුම් කරනවා.ඒ අනුව අදාළ පුද්ගලයා සාමාන්ය දෛනික ජීවන චර්යාව තුල තමන් ගත කළ සතුටුදායක අවස්තාවන් මග හරිමින්,දැඩි වේදනාවක් සමග කාලය ගත කරන ආකාරයක් දකින්නට පුළුවන්.නිරන්තරයෙන් කල්පනා කරමින් කාලය ගත කිරීම,විඩාබර බවක් මුහුණෙන් පෙන්නුම් කිරීම, අනෙක් පාර්ශව සමග සුහදශීලීව සහ සිනාමුසු මුහුණින් කාලය ගත කිරීමට දැඩි ආයාසයක් දරමින් උත්සහ කරන බවක් පෙන්නුම් කිරීම,මුහුණේ මාංශ පේශි වල කඩා වැටුණු බවක් සහිතව මුහුණ අඳුරු සොභාවයක් ගැනීම. ආදී ලක්ෂණ මෙම අවස්තාවේදී පෙන්නුම් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.
තුන්වන අවස්තාව සහ බරපතලම අවස්තාව ලෙස උග්ර (Severe) විශාද තත්වය හඳුනා ගන්න හැකි.
එය මෙම රෝග තත්වයේ බරපතලම අවස්ථාවයි.ඒ අනුව මෙහි පවතින රෝග ලක්ෂණ අනුව යමෙකු උග්ර විශාද අවස්ථාවේ පසුවනවා නම් සිදු කළ යුතු අනිවාර්ය කාරණා කිහිපයක් අතරින් ප්රධානම කාරණාව වන්නේ එම පුද්ගලයා තනි නොකර ඔහුට ඉතා ශක්තිමත් මානසික සහයෝගයක් ලබා දීමයි. එනම් ඔහුගේ හෝ ඇයගේ ගැටළුව විසඳා ගැනීමට ඔහුට හෝ ඇයට තවත් කෙනෙක් හෝ පිරිසක් සහයෝගය දක්වනවාය,තමාගේ මානසිකත්වය අවබෝධ කරගෙන තමාට අවශ්ය සහකම්පනය ලැබෙනවාය යන බලාපොරොත්තු සහගත හැගීම ඔහුට හෝ ඇයට දැනෙන අයුරින් කටයුතු කළ යුතුය.
ඒ අනුව එහිදී සිදු කලයුතු දෙවන වැදගත් කරුණ ලෙස, හැකි ඉක්මනින් ඔහු හෝ ඇය මනෝ වෛද්ය ප්රතිකාර වෙත රැගෙන යාම සිදු කළ යුතුයි.විශේෂයෙන්ම එය මෙම තත්වයේදී අනිවාර්ය බවක් පෙන්නුම් කරන්නේ එම රෝගියා සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලක සිටින අවස්තාවකදී සහ ඒ සදහා මොනයම් හෝ අයුරක උත්සහයක් දරා ඇති මොහොතකදීය.
එවන් අවස්තාවක හැකි තරම් ඉක්මනින් ක්රියාත්මක විය යුතු අතර සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලක් හෝ උත්සහයක් නොමැති වුවද ඔහු හෝ ඇයව මනෝ වෛද්ය ප්රතිකාර සදහා යොමු කිරීම වැදගත් වේ.
ඒ අනුව ඉහත අයුරින් ඔබ ක්රියාත්මක වන්න නම් “උග්ර විශාදය” තත්වයේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් බව ඉතා වැදගත් කාරණාවක් බව අමතක කරන්න එපා.එසේනම් මොනවද මේ රෝග ලක්ෂණ?
රෝග ලක්ෂණ පහත අයුරින් දැක්වීම වඩා හොඳ බව විශ්වාස කරමි.ඒ අනුව එම රෝග ලක්ෂණ නම්,
1. දැඩි කලකිරුණු සහ පීඩාවට පත් වූ බවක් පෙන්නුම් කරන මුහුණුවර
2. දෛනික ජීවිතයේ සාමාන්ය කටයුතු වලට ඇති අකමැත්ත සහ අවම ක්රියාශීලිත්වය
3. ශරීර බර ප්රමාණය අඩුවීම හෝ වැඩිවීම
4. නින්ද ආශ්රිත ගැටළු දක්නට ලැබීම( නින්ද නොමැතිකම හෝ අධික නින්ද)
5. දැඩි කායික වෙහෙසකර බවක් දැනීම හෝ එවැන්නක් පෙන්නුම් කිරීම
6. තමා පිලිබඳ වරදකාරී හැගීමක්,කලකිරුණු මානසිකත්වයක් හෝ තමා සතු කිසිවක් කිසිදු ප්රයෝජනයක් නොමැති බවට මානසිකත්වයක් ගොඩ නැගී තිබීම
7. යම් දෙයක් එක් අරමුණක් ඇතිව අවදානය යොමු කර සිටීමේ අපහසුතාවය සහ දැඩි නොසන්සුන් වූ මානසිකත්වයක් පෙන්නුම් කිරීම
8. තමාගේ ජීවිතයේ වටිනාකම පිළිබඳව අවතක්සේරු කිරීම, තවදුරටත් ජීවත් වීම අවශ්ය නොමැති බවට සිතීම හෝ සිය දිවි නසා ගැනීමට ප්රයත්නයක් දැරීම
ඉහත ලක්ෂණ සියල්ලක්ම එකට එකතු වුන අවස්තාවක විශාදය රෝගයේ උග්රතම අවස්තාව හඳුනා ගන්නා අතර එහිදී අදාළ රෝග තත්වයට මුහුණ දෙන පුද්ගලයා සමග සමීප ඇසුරක් ඇති අයට මෙම වෙනස්කම් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක්ද පවතී.
ඒ අනුව නිරන්තරයෙන් තමාගේ සමීපතමයාව ඒ මොහොතේදී තනි නොකර ඔහුට අවශ්ය සහකම්පනය නොඅඩුව ලබාදීම අත්යාවශ්ය තත්වයකි.
මෙහිදී සහකම්පනය යන වචනයේ අර්ථය ඔහුගේ හෝ ඇයගේ සිතුවිලි සහ හැගීම් ක්රියාත්මක වන ආකාරය නිවැරදිව තමන්ට වැටහෙනවාය යන අවබෝධය ඔහුට හෝ ඇයට ලබාදීම සහ තමා නිරන්තරයෙන් ඔහුගේ හෝ ඇයගේ දුක වේදනාවට ඇහුන්කන් දීමට සුදානම් යන විශ්වාසය ඇති කිරීමයි.
එසේ නොමැතිව ඔහු හෝ ඇය සිටින තත්වය පිළිබඳව අනුකම්පා කර රෝගියා සමග එකට එක්ව කඳුළු සැලීමක් නොවන බව හොදින් මතක තබා ගැනීම ඉතා වැදගත්ය.
මේ අනුව අද දවසේ කතා බහ කිරීමට උත්සහ කළ “Depression” හෙවත් “විශාදය” පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගනිමින් එවැනි තත්වයකින් පීඩාවට පත් පිරිස් සමග වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව සිහිපත් කරමින්,
උග්ර විශාද තත්වයක් පවතින අයෙකුට මුලින් ඖෂධ ප්රතිකාර ලබා දී දෙවන පියවර ලෙස ඖෂධ ප්රතිකාර වලට සමගාමීව මනෝ උපදේශය ලබා දෙමින් රෝගියාගේ සිතුවිලි නිවැරදිව ප්රතිස්ථාපනය කිරීම වැදගත් බවද සිහිපත් කරමි.
එයට හේතුව වන්නේ ඖෂධ ප්රතිකාර මගින් මොලයේ රසායනික අසමතුලිතතාවයන් සමතුලිත කිරීමට කටයුතු යොදා,පවතින උග්ර රෝග ලක්ෂණ අඩු කළද,එම තත්වය ඇතිවීමට හේතු වූ, රෝගියාගේ වැරදි ආකල්ප සහ සිතුවිලි රටාවන් නිවැරදි කිරීමට මනෝ උපදේශනය විශාල බලයක් ලබා දෙන නිසයි.
අද ලිපියෙන් වැඩියෙන් කතා කළේ විශාදයෙන් පීඩාවිඳින අයට වඩා බාහිර පාර්ශව වලට.එයට හේතුව,ඔවුන් මෙම තත්වය පිළිබඳව හොද අවබෝධයකින් සිටීම තවත් කෙනෙකුගේ සහයෝගයට ලොකු ශක්තියක් වන නිසා.
නමුත් අවසානයේ මතක් කරන අනෙක් කාරණාව, ඔබ යම් අයුරකට ඉහත රෝග ලක්ෂණ වලින් තනිවම පීඩා විදිනවානම්,දුක කියන්න කිසිම කෙනෙක් නැත්නම්,ඔබට උදව් කරන්න තවත් අය වෘතීය මට්ටමෙන් සුදානමින් සිටිනවාය යන්නයි.
ඒ අනුව ලගම තිබෙන රෝහලක මනෝ වෛද්ය සායනයකට යොමු වී අවශ්ය වෛද්ය ප්රතිකාර නොමිලේම ලබා ගන්න ඔබට පහසුකම තිබෙනවා. එහෙමත් නැත්නම් ඔබේ හිතේ තිබෙන වේදනාව පිළිබඳව වෘතීය මනෝ උපදේශකයෙකු සමග කතාබහ කර ඔහු සමග එක්ව අවශ්ය ඉදිරි ක්රියාමාර්ග වලට යොමුවෙන්න පුළුවන්.(සුදුසු විශේෂඥ මනෝ වෛද්යවරයෙක් වෙත යොමුවීම,ඖෂධ ප්රතිකාර ආරම්භ කිරීම සහ මනෝ උපදේශන ක්රියාවලිය විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාම)
එහිදී ඔබ මනෝ උපදේශනය පෞද්ගලික ලෙස ලබා ගන්න අදහස් කරනවානම් උපදේශන සේවය වෙනුවෙන් අදාළ පිරිවැය දැරීමක් සිදු කළ යුතු වෙනවා.නමුත් ඔබට ඒ මොහොතේ එයත් ගැටලුකාරී නම් රජයේ රෝහලකින් හෝ අදාළ උපදේශන සේවය නොමිලේ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.
කෙසේ වෙතත් වැදගත්ම දෙය වන්නේ ඉහත ආකාර දෙකෙන් කවර ආකාරයකට වුවද හැකි ඉක්මනින් ප්රතිකාර සහ වෘතීය මනෝ උපදේශන සේවය වෙත යොමු වීමයි.එය එසේ නොවීම තුල ඔබේ ගැටළුව තවදුරටත් උග්රවීම හේතුවෙන් ඔබ දිනෙන් දින ඔබේ ගැටලුවේ පතුලටම ගමන් කිරීමක් සිදු වනවා. අවසානයේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ඉරණමක් ඇතිවීමටද ඉඩ තිබෙනවා.
එබැවින් පහසුවෙන් සහ විධිමත්ව විසඳා ගත හැකි මෙම ගැටළුව සහ එහි විසදුම් නිවැරදිව හඳුනා ගැනීම අප කාගේත් සමාජ වගකීමක් බව අවසානයේ සිහිපත් කරනු කැමැත්තෙමි.
