බලාපොරොත්තු තුල කිමිදෙමින්,විශාල කැපකිරීමක් සිදු කර,දෙමාපිය භුමිකාවේ වගකීම් නැමති අභියෝගය ඔබ භාරගන්නේ ඉහල ආශ්වාදයක් සමග බව මම හොදින්ම දනිමි.
ඒ අනුව, ඔබේ ලෙයින් මේ ලෝකයට දායාද කරන දරු පැටියා ඔබට
විශාල සම්පතක් බවත් මම දනිමි.
ඒ නිසාම, ඒ මහා සම්පත, ප්‍රාණ සමව රැක බලා ගන්න මහන්සි
වෙන ඔබටත්, කෙදිනක හෝ මවක් පියෙක් වෙන්න හීන දකින ඕනෑම කෙනෙකුටත්, ඔබේ ලෙයින් මේ
ලෝකයට දායාද කරන දරු පැටියා කෙරෙහි අවදානය දැක්විය යුතු වැදගත් කාරණා කිහිපයක්
පිළිබඳව මනෝ විද්‍යාත්මකව සාකච්ඡා කරන්නයි මෙම ලිපියෙන් අද බලාපොරොත්තු වන්නේ.
මනුෂ්‍යයා කියන්නෙම මේ ලෝකය තුල ජීවත් වන අනෙක් සියළු
ජීවීන් සමග සංසන්දනය කර බලන විට සුවිශේෂීම වටිනාකම් රැසක් සමග ලෝකය තුල බිහි වූ
සත්ව කොට්ඨාශයක්.ඒ පිළිබඳව විද්‍යාත්මක පසුබිම දැන ගන්න අවශ්‍ය කෙනෙකුට ජීව විද්‍යාව
භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම මෙම දුර්ලභ මනුෂ්‍ය ආත්මය පිළිබඳව ඇති වටිනාකම්
පිළිබඳව දැන කියා ගැනීමට ආගම දර්ශනය වැනි විෂයන් භාවිතා කරන්නත් පුළුවන්.
නමුත් එහි වටිනාකම් දිනෙන් දින සංවර්ධනය කරගැනීමට විද්‍යාත්මක
ක්‍රමවේදයක් තුල පියවර ගන්න සුදුසුම ක්‍රමය ලෙස මනෝවිද්‍යාව හදුනා ගන්න
පුළුවන්.එමගින් සිදු වන්නේ පුද්ගල මනස ක්‍රියාත්මක වන ආකාරය විද්‍යාත්මකව අවබෝධ කර
ගනිමින් හැකි තරම් සාර්ථක ජීවිතයක් කරා යොමුවීමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමක්.
ඒ අනුව අද මාතෘකාව තුල කතා බහට ලක් කරන්න උත්සහ කරන්නේ
අලුත උපන් දරුවෙක් මුල් මාස 18 හෙවත් පළමු වසර දෙක තුල ලෝකය දකින ආකාරය කතා කිරීම
සහ දෙමාපියන් වැඩිහිටියන් ලෙස එම කාල සීමාව තුල ඔවුන්ගේ මැදිහත්වීම නිවැරදිව ලබා
දියයුතු අකාරයයි.
දරුවෙක් මේ ලෝකයේ එළිය දැකීමත් සමග ඔහුගේ මනස ක්‍රියාත්මක
වන ආකාරය සහ ඔහු ලබන විවිධ අත්දැකීම් තුල එම දරුවාගේ පෞර්ෂය තීරණය වන ආකාරය
පිළිබඳව විවිධ මනෝවිද්‍යාඥයින් විවිධ න්‍යායන් ඉදිරිපත් කර තිබෙන වටපිටාවක, අද
මෙම ලිපියට යොදාගැනීමට උත්සහ කරන්නේ මනෝ සමාජීය සංවර්ධනය පිළිබඳව වටිනා අදහස්
රැසක් සමග උපතේ සිට වැඩිහිටි වියට පා තබන කාලය දක්වා බලපාන වැදගත් මනෝවිද්‍යාත්මක
කරුණු අන්තර්ගත න්‍යායක් ඉදිරිපත් කළ එරික් එරික්සන් නම් වූ ශ්‍රේෂ්ට මනෝ විද්‍යාඥගේ න්‍යායක් තුල කතා බහට ලක් කරන එක් කොටසක්
පිළිබඳවයි.
ඒ අනුව එරික් එරික්සන් ට අනුව මිනිසා මෙලොව එලිය දුටු දා
සිට වැඩිහිටි ජීවිතයට පිවිස මරණයට පත් වන තෙක් අදියර අටක් යටතේ ඔහුගේ ජීවිත
අත්දැකීම් මනෝ විද්‍යාත්මකව විග්‍රහ කිරීමට උත්සහ ගන්නවා.
එහි පළමු අදියර ලෙස ඉහත කතාබහට ලක් කළ උපතේ සිට පළමු වසර
දෙක පිළිබඳව ඉතා ගැඹුරින් සාකච්ඡා කරනවා. ඔහුගේ මෙම න්‍යායට අනුව දරුවෙකුගේ මෙම
පළමු අදියරේ සාර්ථක අසාර්ථක බව දෙවන තුන්වන අදියර සහ අවසන් අදියර දක්වාම ගමන්
කරනවා.
ඒ අනුව මෙම මනෝ සමාජීය සංවර්ධනය පිළිබඳව කතා බහ කරන
අදියර අටම පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳව විද්‍යාත්මකව අර්ථකථනය
කරනවා.
අපි අද කතා කරන මෙම පළමු අදියර හෙවත් දරුවෙකුගේ උපතේ සිට
පළමු වසර දෙකක කාල සීමාව එම දරුවා මේ ලෝකය පිළිබඳව ඇති කරගන්නා විශ්වාසය හෝ
අවිශ්වාසය තීරණය කරන කාල සීමාවක් බවට පත් වෙනවා.
මෙහිදී ඔබේ දරු පැටියා මේ ලෝකයේ එලිය දැක වසර දෙකකට
ආසන්න කාලයක් ගතවන තුරු තමා අවට ඇති ලෝකය තමාට ආරක්ෂා සහිතද නැත්නම් අනාරක්ෂිතද යන
ගැටළුව විසදා ගැනීමට යොමු වෙනවා.
ඒ අනුව තමාට ආරක්ෂා සහිත හැගීමක් තුල තමා අවට ඇති ලෝකය
කෙරෙහි විශ්වාසයක් ද, අනාරක්ෂිත හැගීමක් තුල අවට ලෝකය පිළිබඳව අවිශ්වාසයක් ද ඔහු ගොඩනගා
ගන්නවා.
මෙය සිදුවන්නේ කෙසේද?
දරුවෙක් ඉපදුන විගස තමාගේ සන්නිවේදන ක්‍රමය ලෙස භාවිතා
කරන්නේ “ඇඩීම” බව ඔබ දන්නවා.එහිදී දරුවාගේ අවශ්‍යතා පිළිබඳව තමා රැකබලා ගන්නා
පිරිස් වෙත සන්නිවේදනය කරන්න,එහෙමත් නැතිනම් දැනුවත් කිරීමට ඔහු මෙම ක්‍රමය භාවිතා
කරනවා.
මෙම අවස්තාව ඉතාමත් වැදගත් වන්නේ දරුවාට තමා අවට ලෝකය
පිළිබඳව විශ්වාසය හෝ අවිශ්වාසය ගොඩනැගීමට බලපාන ප්‍රධානම අවස්තාව මෙය වන නිසයි.
උදාහරණයක් ලෙස, බඩගිනි දැනුන පුංචි දරු පැටියා තමන්ගේ
කුස ගිනි අවශ්‍යතාවය පිළබඳව තම මවට හෝ තමා රැක බලා ගන්නා තැනැත්තාට ඉඟි කිරීමට මෙම
ක්‍රමය භාවිතා කරනවා.එහෙමත් නැති නම් තමාට දැඩි සීතලක්,උණුසුමක් දැනෙන අවස්තාවක
එහි ඇති අපහසුතාවය ප්‍රකාශ කරන්න මෙම ක්‍රමය භාවිතා කරනවා.
ඒ අනුව තමාට අවශ්‍ය සහ අවශ්‍ය නොවන ඕනෑම දෙයක් ප්‍රකාශ
කිරීමට ඔහු භාවිතා කරන එකම ක්‍රමය ඇඩීම.මෙහිදී තමා බලාපොරොත්තු වන අවශ්‍යතාවය
සැපිරෙන වටපිටාවක ඔහු ඒ පිළිබඳව සතුටටත්, තමා අවට ලෝකය කෙරෙහි විශ්වාසනීය බවකුත්
මනස තුල ගොඩ නගා ගැනීමටත් පෙළඹෙනවා.එයට හේතුව වන්නේ තමා බලාපොරොත්තුවන අවශ්‍යතා
තමාට සැහීමකට පත්වීමට හැකි අයුරින් සම්පුර්ණ වීමයි.එහිදී ඔහු ප්‍රධාන කාරණා තුනක්
පිළිබඳව සෑහීමකට පත් වෙනවා.එනම්,
1) තමා රැකබලා ගන්නන් කෙරෙහි විශ්වාසයෙන් බැඳීම
2) අවට ලෝකය ආරක්ෂා සහිත බව විශ්වාස කිරීම
3)තමාගේ අවශ්‍යතා සම්පුර්ණ වන බවට විශ්වාසයක් ඇතිකර
ගැනීම
ඉහත කරනා අනුව අලුත උපන් බිලිඳා ලෝකය අර්ථ කථනය කිරීමට
උත්සහ ගන්නා අතර එම උත්සාහය සාර්ථක කරගැනීමට මෙන්ම ඔහු මනස තුල ගොඩනගා ගන්නා
ආකල්පය යතාර්ථයක් බවට පත් කිරීමට දෙමාපියන්/රැකබලාගන්නන් ලෙස ඔබට විශාල වගකීමක්
පැවරෙනවා.
මෙහිදී එම පරිසරය යහපත් අයුරින් නිර්මාණය කිරීමට ඔබට ඇති
හැකියාව අපි මෙලෙස හඳුනා ගනිමු.
ඒ අනුව ඔබ දරුවා කෙරෙහි අවදානය දැක්විය යුතු ප්‍රධාන
කාරණා තුනක් පවතින අතර එම කරුණු තුන මනා ලෙස , සාර්ථකව සැපිරීම මගින් දරුවාට ඔහු
අවට ලෝකය පිළිබඳව හොඳ විශ්වාසයක් සහ මනා පෞර්ෂයක් ඇති අයෙකු ලෙස ජීවිතේ ඉදිරි කාල
සීමාව තුල ගොඩ නැගීමට හැකියාව ලැබෙනවා. එම කරුණු තුන නම්,
1) 1) දරුවාට අවශ්‍ය සෙනෙහස නොඅඩුව ලබා දීම
2) 2) දරුවා අපහසුතාවයට, පීඩාවට සහ නොසන්සුන් බවට පත්ව ඇති සෑම මොහොතකම දරුවා කෙරෙහි යොමුවීම සහ දරුවා අස්වැසීම
3) 3) දරුවාගේ ආහාර අවශ්‍යතා(මවු කිරි) නිසි ලෙස සම්පුර්ණ කිරීම තුල මවගේ උණුසුම සහ සැනසීම ලබා දීම
ඉහත ප්‍රධාන කාරණා මනාව සැපිරීමට සමත්වන
දෙමාපියන්/වැඩිහිටියන් යහපත් මානසික තත්වයක් හිමි ලෝකය පිළිබඳව විශ්වාසයෙන්
බැඳුනු, යහපත් පෞර්ෂයක් ගොඩනැගීමට අවැසි මූලික පදනම ලත් දරුවෙකු බිහි කිරීමට තම
දායකත්වය ලබා දෙන අතර එය එසේ නිසි පරිදි සිදු නොකරන සහ ඒ පිළිබඳව නිසි අවබෝධයක්
නොමැති පිරිස්ද මෙම සමාජය තුල ජීවත්වන බව සිහිපත් කිරීම ඉතා වැදගත්.
ඒ අනුව බහුතරයක් වූ නාගරික සමාජය තුල ඇති වතු ආශ්‍රිත
දරුවන්, පවුල් ආරවුල් වලට මැදිව මූලික කායික මානසික අවශ්‍යතා හීන වූ දරුවන්, මත්
පැන් මත් ද්‍රව්‍ය වලට යොමුව ඊට ඇබ්බැහි වූ දෙමාපියන්ගේ දරුවන්, අනාත නිවාස ආශ්‍රිතව
දිවි ගෙවන දරුවන් සහ උපන් දා සිට දැඩි කායික මානසික පීඩනයට ලක්වන ඕනෑම දරුවෙක් තුල
අපි ඉහත කතා කළ අනාරක්ෂිත ලෝකය තුල අවිශ්වාසයේ ගිනි දැල් මතුවීම නොවැලක්විය හැක.
මෙහිදී එම අයහපත් පරිසරය තුල දරුවා තමා අවට ලෝකය පිළිබඳව
පහත පරිදි ආකල්පය ගොඩනගා ගනී.එනම්,
1) 1) තමා රැකබලා ගන්නන් කෙරිහි අවිශ්වාසයක් ගොඩනගා ගැනීම
2) 2) තමා අවට ඇති ලෝකයට දැඩි බියක් දැක්වීම
3) 3) තමාගේ අවශ්‍යතා නිසි ලෙස සම්පුර්ණ නොවීම හේතුවෙන් දැඩි අවිශ්වාසයකින් කල් ගෙවීම
මේ අනුව ඉහත කරුණු හේතුවෙන් කුඩා කල ලෝකය පිළිබඳව දැඩි
අවිශ්වාසයකින් පෙලෙන දරුවා පසු කාලයේදී විවිධ පෞර්ෂ ආබාධ වලින් පෙලීම වැළක්විය
නොහැකිය.එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස දුර්වල සමාජ සම්බන්ධතා ගොඩනගාගන්නා,නිරන්තරයෙන්
හුදෙකලා වූ අයුරින් ජීවත්වන දරුවෙක් බිහිවන අතර එහි තවත් දිගුවක් ලෙස එම දරුවා
වැඩිහිටි වියට පත් වන විට එම ලක්ෂණ තව තවත් වර්ධනය වෙමින් එරික්සන් ගේ න්‍යාය තුල
කතා බහට ලක් කරන අනෙකුත් අදියරයන් වලටද අයහපත් බලපෑමක් කරන පසු බිමක් නිර්මාණය
කරයි.
මෙහි වැදගත්ම කරුණ වන්නේ මෙවැනි පෞර්ෂ දුර්වලතා ගොඩනැගෙන
දරුවාට නිරන්තර තනිකමක්, පාළුවක් වැනි අයහපත් මානසික තත්වයක් ගොග නැගීම නිසා ඔහු
ජීවිතය කෙරෙහි දැඩි අතෘප්තියකින් ජීවත් වීමයි.මෙවැනි තත්වයක් නිවැරදිව හඳුනා
ගැනීමට නොහැකි වටපිටාවක වටිනා ජීවිතයක් තුල ඇති වටිනාකම් සමාජයට යොදවා ගැනීමට
නොහැකිවීමද සිදුවේ.
ඒ අනුව මෙවැනි තත්වයක් දරුවකුට උරුම කර නොදීමට දෙමාපියන්
ලෙස , වැඩිහිටියන් ලෙස අප කාගේත් වගකීම බව මෙම ලිපිය අවසානයේදී සිහිපත් කර දීමට
කැමැත්තෙමි.
