එතනදී මම සඳහන් කළේ පුද්ගලයක් සතුටින් ඉන්න ප්‍රමාණය වැඩි නම් ඔහුගේ මානසික නිරෝගීකමත් වැඩී කියන කාරණාව.
නමුත් බහුතරයක් දෙනා ඉන්නේ ඇත්තටම සතුටින්ද කියන ප්‍රශ්නය සමාජය දිහා අවදානයෙන් බලාගෙන ඉන්නකොට අපිට දැනෙන්න ගන්නවා.
ඒකට හේතුව පෘතග්ජන මිනිස්සු විදිහට අපි නිතරම වගේ කාංසාවෙන් ඉන්න නිසා.
හැබැයි මේ බහුතරයක් දෙනාට දැනෙන කාංසාවට මම විශේෂ නමක් එදා පාවිච්චි කළා.ඒ තමා සාංදෘෂ්ටික කාංසාව.
මෙන්න මේ සාංදෘෂ්ටික කාංසාව ගොඩක් වෙලාවට ගොඩ නැගෙන්නේ අසීමිත ආශාවන්,අසීමිත බලාපොරොත්තු සහ අරමුණුත් එක්ක ජීවත් වන පිරිස් වලට.ඒකට හේතුව ඒ බහුතරයක් දෙනා හැම මොහොතකම තමන් ළඟ පවතින දේට වඩා තවත් හොඳ දෙයක් ලබන්න නිතරම කැමති නිසා.
ඒ අනුව පුද්ගලයා නිරතර අනාගතය ගැන කුතුහලයකින්,කලකිරීමකින් සහ අනාගතය ගැන යම්කිසි බයකින් ජීවත් වෙනවා.
මෙන්න මේ වගේ පුද්ගලයින් තුලින් මේ විදිහට බොහෝවිට පෙන්නුම් කරන මානසික තත්ත්ව ගණනාවක් හඳුනා ගන්න පුළුවන්.
අපි පසුගිය ලිපිය තුලින් එම තත්වයන් හඳුන ගත්තේ ප්‍රජානන විකෘතිතා විදිහට.එහෙමත් නැත්තන් Cognitive Distortion කියල ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කළා.
ඒ අනුව මම පසුගිය ලිපියේ සඳහන් කළා අදින් පටන් ගන්න ලිපි මාලාව තුල මෙන්න මේ Cognitive Distortions ගැන එකින් එක කතා කරනවා කියල.
ඒ අනුව මම අද මුලින්ම කතා කරන්නම් "Filtering" කියන තත්වය පිළිබඳව.
මොකද්ද මේ Filtering කියන්නේ?
අපිට මේ සමාජය තුල ජීවත් වන මිනිස්සු අතරින් සමහරු මුණගැහෙනවා ඔවුන් නිතරම වගේ හරිම ඍනාත්මක අදහස් ප්‍රකාශ කරනවා."ඕක කරන බෑ" , "ඕක හරියන වැඩක් නෙවෙයි" වගේ තමන්ගේ පුද්ගලික කාරණා වලට අදාලව සහ සාමුහිකව කටයුතු කරන්න උත්සහ කරන බොහෝ අවස්තාවලදී ඒ වගේ අදහස් ප්‍රකාශ කරනවා.
මේක සාමාන්‍ය මට්ටමක් කියල කෙනෙක්ට කියන්න පුළුවන්.නමුත් මෙතන තියනවා යම්කිසි මනෝ විද්‍යාත්මක පසුබිමක්.ඒ කාරණාව ඍජුවම සම්බන්ධ වෙන්නේ පුද්ගල පෞර්ෂය සමග.
මෙන්න මේ තත්වය අසීමිතව පවතිනවානම් වඩාත්ම සුදුසු මනෝ උපදේශන සේවය පතන එක.
මෙතනදී හොදින්ම දකින්න තියන කාරණාව තමා තමා ඍනාත්මක දෘෂ්ටිකෝණයෙන් හැමදෙයක් දිහාම බලන්න උත්සහ කරන, හැම වෙලාවකම ඒ මොහොතේ ඔහු සතුව තියන ධනාත්මක කාරණා දකින්න උත්සහ කිරීමක් හෝ හඳුනා ගන්න උත්සහ කිරීමක් සිදු නොකිරීම.එහෙමත් නැත්න්නම් ඒ හැකියාව ඔහුගෙන් ගොඩක් ඈතින් තිබීම.
ඒ අනුව ඔහු හැම අවස්තාවකම තමන්ව අර්ථකථනය කරන්නේ තමන් අසමත් කෙනෙක් විදිහට,තමන්ට හැකියාවක් නොමැති කෙනෙක් විදිහට.ඒ වගේම යම් කිසි ගැටුමක් සමග අරගල කරන අයෙක් නම් ඔහු හැම මොහොතකම එහි පසුගාමී අදහස් ඇති,විසඳුමක් දෙස ධනාත්මකව නොබලන අදහස් ඉදිරිපත් කරන්නෙක් බවට පත් වෙනවා.
සමස්තයක් විදිහට මෙවැනි පුද්ගලයින් ජීවිත කාලයෙන් වැඩි කොටසක් දැඩි කලකිරීමෙන්,වේදනාවෙන් වගේම දැඩි අසහනයෙන් කාලය ගත කරනවා.
වැදගත්ම දේ තමා මේ හේතුව නිසා ඔහු පමණක් නෙවේ ඔහු සමග ගනු දෙනු කරන, නිතරම පාහේ ඔහුට නිරාවරණය වන පිරිස් පවා මොහුගේ මෙම ආකල්ප සහ හැසිරීමේ සොභාවය තුල අහිතකර බලපෑමකට ලක්වෙනවා.
මේ දිනවල පවතින Covid 19 අර්බුදයත් එක්ක අපි මේ කතා කරන තත්වයත් එක්ක දැඩි අරගලයක යෙදෙන විශේෂ කොටසක් ඉන්නවා.ඒ තමා අධ්‍යාපන කටයුතු නිසි විදිහට කරගන්න නොහැකි වුන,බොහෝ පාඩම් මගහැරුණු නමුත් ඉගෙන ගන්න ඉහල හැකියාවක් තියන දරුවන්.
පහුගිය මාසයක පමණ කාලය තුල මා ලඟට උපදේශන සේවය ලබා ගන්න ඒ විදිහට පැමිණි දරුවන් හැම දෙනාටම වගේ තියන ප්‍රධාන ගැටළුව තමා සා.පෙළ විභාගය හෝ උ.පෙළ විභාගය සාර්ථක කරගන්න බැරිව අසමත් වෙයි කියන කාරණාව.ඇතැම් අවස්තාවලදී ඒ අතරට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුත් එකතු කරන්න පුළුවන්.
මෙවැනි තත්වයක් ඕනෑම කෙනෙකුට අභියෝගාත්මක අවස්තාවක් වුනත් අපි ඉහතින් කතා කළ ආකාරයේ මානසිකත්වයක් ඇති දරුවෙක් මෙම තත්වය වඩා ඉහලින් සලකනවා.
මෙතනදී වෙන්නේ තමන්ගේ දක්ෂතා පිලිබඳ තමන්ට තියන හැකියාව,ආත්ම ශක්තිය අවතක්සේරු කරලා,තමන් ඉදිරියේ තමන්ට පෙනෙන්නට ගන්න අනාගතය පිලිබඳ අවදානම් සහගත බව අධි තක්සේරුවට ලක් කරන එක.
ඒ අනුව දෙමාපියන්,වැඩිහිටියන්,ගුරුවරුන් කොතරම් මහන්සි වෙලා මේ තත්වය පිලිබඳ සාධනීය අදහස් කියන්න උත්සහ කළත් එම දරුවන්ගේ සිත් තුල ඇති කාංසා ජනක තත්වය නිසා ඒ කිසිවක් ග්‍රනාහය කරගන්න හෝ එම සිතුවිලි ධනාත්මක මුහුණුවරකට පත්වෙන්න අවශ්‍ය චිත්තවේග කළමනාකරණය නිවැරදිව සිදු කරගන්න අමාරු වෙනවා.
ඉතින් ඒ නිසා ඔවුන් බොහෝ අවස්තාවලදී තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල වේවි යන බරපතල විශ්වාසයත් සමග,තමන්ට එය සාර්ථක කරගන්න අවස්තාවක්,කාලයක් නැතැයි සිතමින් දැඩි නොසන්සුන් බවකින් නිතරම කාලය ගත්හ කරනවා.
මෙන්න මේ නිසා තමන්ට පාඩම් කරන්න තියන කාලය තුලත්, "මම පාඩම් කළත් විභාගය Failවෙනවා.ඒ නිසා බොරු වැඩ කරන්න ඕනි නෑ" වගේ අදහසකින් සියල්ල අතහැර දමා දැඩි මානසික කලකිරීමකින් සහ නොසන්සුන් කමකින් කාලය ගත කරනවා.
මෙන්න මේ වගේ වෙනත් ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්.
ඒ අතර රැකියාව සම්බන්ධ ගැටළු,විවාහ ජීවිතය සම්බන්ධ ගැටළු,සහ ජීවිතයේ බොහෝ විශේෂ කාරණා සම්බන්ධව අපි මේ කතා කරපු "Filtering" කියන ප්‍රජානන විකෘතිතාවය(cognitive distortion) බලපෑමක් කරනවා.
මෙවැනි තත්වයක් තුල ජීවිතයේ තීන්දු තීරණ ගන්න උත්සහ කරන කෙනෙකුට ජීවිතය අසාර්ථක වෙන්න තියන ඉඩකඩ වැඩි වෙනවා.ඒ වගේම කාලයාගේ අවෑමෙන් විශාල පසුතැවීමක් සමග ජීවිතය දිහා ආපස්සට හැරිලා බලන්න සිද්ද වෙනවා.නමුත් ඒ වෙනකොට වෙන්න ඕනි බොහෝ දේවල් වෙලා තියෙන්න වගේම, නැවත නිවැරදි කළ නොහැකි තත්වයට පත්වෙලා තියෙන්න පුළුවන්.
මෙන්න මේ නිසා ඔබත් අපි මේ කතා කරපු විදිහේ අදහස් තියන, සිතුවිලි හැමවිටම බොහොම නිශේදනාත්මක බවක් ගන්න කෙනක් නම් ,එහෙමත් නැත්නම් ඔබේ හිතවතෙක් හෝ එවැනි මානසිකත්වයකින් සිටිනවානම්, වඩාත් හොදම දේ වෘතීය මනෝ උපදේශනය වෙත යොමු කරන එක.
එහෙම වුනොත් මොනෝ විද්‍යාත්මක පැහැදිලි කරගැනීම් සමගින් මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතා කරලා ඔහුගේ සිතුවිලි වෙනස් කිරීම තුලින් ඔහුට සෙතක් සහනයක් සහ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න හැකියාවක් ලැබේවි.
අද අපි මේ කතා කරපු "Filtering" කියන Cognitive Distortion" එක වගේ තවත් කාරණාවක් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.එතෙක් ඔබට ජය.
