ඔබට මනෝ උපදේශනය අවශ්‍ය ඇයි?



ජීවිතය කියන්නෙම අභියෝගයක්.මේ අභියෝගයට නිවැරදි ආත්ම ශක්තියකින් මුහුණ දෙන කෙනා ජීවිතය දිනනවා,එහෙම සාර්ථක වෙන්න බැරි කෙනා බොහෝ විට ජීවිතය පරදිනවා.

ජීවිතය දිනනවා කියන්නේ මොකද්ද? ජීවිතය පරදිනවා කියන්නේ  මොකද්ද? හැමදේටම කලින් මෙන්න මේ කාරණා දෙකේ පටලැවිල්ල ලිහා ගන්න එක හොදයි.

ජීවිතය දිනන්න තමයි හැමෝම මහන්සි වෙන්නේ,එහෙම දිනනවා කියන ජීවිතය ඇතුලේ ගොඩක් දෙනෙක් ප්‍රර්ථනා කරන සතුට ඇතුලත් වෙන නිසා.මේ සතුටට කායික අවශ්‍යතා සම්පුර්ණ වෙන කාරණා වල ඉදන් මානසික අවශ්‍යතා සම්පුර්ණ වෙන කාරණා දක්වා විවිධ සාධක බලපානවා.

ඒ නිසා වැඩි දෙනෙක් මේ හැමදේම සම්පුර්ණ කරගන්න වැඩි වැඩියෙන් මුදල් හම්බ කරන්න මහන්සි වෙනවා.මොකද හේතුව, මේ හැමදෙයක්ම තවත් කෙනෙකුට සාපේක්ෂව වඩා හොදින් සම්පුර්ණ කර ගන්නනම් කාට කාටත් යහමින් මුදල් අවශ්‍ය නිසා.

දැන් ඔබ මගෙන් අහයි සතුට තියෙනේ මුදල් සහ වත්කම් මත විතරමද කියල.

නැහැ.නමුත් ලෝකයේ බහුතරයක් දෙනා සතුට ලබන්න බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් වලට මුදල් අවශ්‍යයි කියල කිව්වොත් ඔබ එකඟ වෙයි කියල මම හිතනවා.

මෙන්න මේ විදිහට සතුට හොයාගෙන යන ගොඩක් දෙනෙක්, මෙන්න මේ විදිහට සාර්ථකත්වය හොයාගෙන යන ගොඩක් දෙනෙක් ඇත්තටම ඉන්නේ සතුටෙන්ද?

එහෙම ඉන්න අය හරි අඩුයි.එහෙම ඉන්නව නම් ඒ ගොඩක් දෙනෙක් හිත ගොඩක් දියුණු,ජීවිතේ යතාර්ථය තේරුම් ගත්ත අය කියන දේ බොහොම පැහැදිලි.ඒ වගේ අය ලෞකික ලෝකයේ යතාර්ථය වගේම ආධ්‍යාත්මික ලෝකයේ ගැඹුරත් හොදින් තේරුම් ගත්ත අය.

නමුත් බහුතරයක් දෙනා කායික මානසික සතුට කියන දේ දකින්නේ බොහොම සරල තැනක ඉදන්.

මෙන්න මේ විදිහට බොහොම සරල අදහසකින් ජීවිතේ සතුට බලාපොරොත්තු වෙන අය නිතරම ඉන්නේ අනාගතේ ගැන ලොකු කුතුහලයකින්.ඒ කුතුහලයත් එක්ක ගොඩක් වෙලාවට අනාගතේ ගැන යම් කිසි බයක් දැනෙනවා.

ඒකට හේතුව තමන් කැමති,තමන් ආස කරන,තමන් ලබා ගන්න බලාපොරොත්තු වෙන සතුට තමන්ට බලාපොරොත්තු වෙන ආකාරයටම සපුරා ගන්න පුළුවන් වෙයිද කියල.

අපි ඒ තත්වය හඳුනාගන්නේ සාංදෘෂ්ටික කාංසාව කියල.හැබැයි මේ තත්වය බොහොම ගැඹුරින් කතා කළ යුතු කාරණාවක්.

සාංදෘෂ්ටික කාංසාව ඇතිවෙන්න ජීවිතේ බලපාන තවත් ගැඹුරු,බරපතල හේතු තියෙන්න පුළුවන්.මම මේකෙදී මුදල් සහ ඒ වටා ගෙතුන සතුට කියන දේ සම්බන්ද කරගත්තේ කාටත් වැටහෙන,කාටත් බලපාන කාරණාවක් නිසා.කොහොම වුනත් මම ඒ ගත්ත උදාහරණය අනුව අපි මේ විදිහට තේරුම් ගමු,

මම බොහොම අමාරුවෙන් මුදල් ඉතිරි කරලා, කාලයක් දුක් විඳලා පලවෙනි වාහනේ විදිහට, පාවිච්චි කරපු නමුත් හොඳ වාහනයක් මිලට ගන්නවා.ඒක තමා මම මගේ ජීවිතේ මිලට ගත්තු මගේම කියන පලවෙනි කාර් එක.

මම මේ වාහනේ ටික දවසක් පාවිචිචි කරනකොට මගේ හිත කියනවා "මේකට වඩා සැප පහහසුකම් වැඩි තව අලුත් වාහන ගොඩක් දෙනෙක් පදිනවා,තව ටික කාලෙකින් මේක දීල Brand New කාර් එකකට යනවා" කියල.

එහෙම අරමුණු තියන එක හොදයි.නමුත් ඒ අරමුණට යනකම් දවල් රෑ ඒ ගැන හීන දැක දැක තමන් දැනට පාවිච්චි කරන වාහනේ ගැන කිසි සතුටක් නැතුව, තියන දේ ගැන දුකෙන් ඉන්නවනම් අන්න අපි කියනවා සාංදෘෂ්ටික කාංසාව කියල.

මට මේ ඊයේ පෙරේදා මුණගැහෙනවා උපදේශන සේවය ලබා ගන්න ආව වයස අවුරුදු 30 ක පමණ තරුණියක්.ඇය තාම විවාහ වෙලත් නෑ.

ඇයට තියන ප්‍රධානම ගැටළුව තමන් කරන රැකියාව පිලිබඳ ඇය තෘප්තිමත් නොවීම.ඒ වගේම ඇයට ඇගේ අනාගතේ ගැන ලොකු හීන තියනවා.ඒ හීන සඵල කරගන්න ඇය නිතරම හීන දකිනවා.අපි ඒකට කියනවා Over thinking කියල.

මෙන්න මේ විදිහත් එක්ක ඇය නිතරම මානසිකව අසහනයට පත්වෙනකොට, ඇයට මේ මොහොතේ ඇය සතුව තියන ගොඩක් දේවල් වල අගය නැතුව යනවා.ඇය හැම මොහොතකම අනාගතය ගැන හිතමින් අසතුටෙන් කාලය ගත කරනවා.

මෙන්න මේ වගේ අවස්තාවන් වලට අපි කියනව ප්‍රජානන විකෘතිතා කියල.ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා Cognitive Distortions කියල.

මෙන්න මේ විදිහට පුද්ගල මනස තුල ගොඩනැගෙන විවිධ ආකාරයේ ප්‍රජාන විකෘතිවීම් ගණනාවක් තියනවා.ඒ හැම දෙයක් තුලින්ම කරන්නේ පුද්ගල සතුට නැති කරලා දාල, අදාළ පුද්ගලයාව එක තැනක හිරකරගෙන ඉන්න එක.

මේ හේතුව නිසා ජීවිතේ නිදහස, සතුට  වඩාත් හොඳින් විදින්න තියන බොහොම සරල අවස්තාවන් රාශියක් නැති කරගෙන දීර්ඝ කාලයක් අසතුටෙන්,පීඩාකාරී මනසකින් ජීවත් වෙන ගොඩක් දෙනෙක් මේ සමාජය තුල ඉන්නවා.

ඒ වගේ පිරිස් තමන්ගේ සතුට සීමා කර ගන්නා විවිධ මානසික තත්ත්වයන් ගැන කතා කරන එක මේ ලිපි පෙළෙන් මම බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා ඊළඟ ලිපියේ සිට එකින් එක අපි බලමු මොනවද මේ Cognitive Distortions සහ එම තත්වයන් වලට මනෝ උපදේශනයෙන් ලබාදෙන්න පුළුවන් සහයෝගයන් මොනවාද කියල.


 

 

 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post