දක්ෂ කථිකයෙක් වෙන්න ඔබ හීන දකිනවද?

කථිකත්වය කියන දේ හැමෝටම එක විදිහට පිහිටන දෙයක් නෙවෙයි.විවිධ පුද්ගලයින්ට විවිධ විදිහට මේ හැකියාව පිහිටනවා.සමහර පිරිස් ඉන්නවා කුඩා කාලයේ ඉදන්ම දක්ෂ කථිකයෙක් වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නනවා.ගොඩක් වෙලාවට කුඩා කාලයේ ඒ විදිහට පෙන්නුම් කරන විශේෂ හැකියාව නිවැරදිව හඳුනාගන්න පුළුවන් වැඩිහිටියෝ,ගුරුවරු,දෙමවුපියෝ එම දරුවන්ට නිවැරදි මාර්ගෝපදේශය ලබා දුන්නොත් බොහෝ වෙලාවට එම දරුවාගේ අනාගතය බොහෝ සෙයින් ආලෝකමත් කරගන්න පුළුවන්.

මේකට හේතුව වෙන්නේ කථිකත්වය දියුණු කරගැනීම කියන දේ ප්‍රයෝගික භාවිතයත් එක්ක තදින් බැඳිලා තියන දෙයක් වෙන නිසා.මේක හරියට මැණික් ගලක් හැඩ කරල,ඔප දාල අරන් ප්‍රදර්ශනයට තියනවා වගේ වැඩක්.

දැන් අපි බලමු කථිකත්වය දියුණු කර ගැනීම ඇයි අපි කාට කාටත් වැදගත් වෙන්නේ කියල.

අපි ජීවත් වෙන්නේ පුළුල් සමාජයක් තුල.සමාජයක් තුල ජීවත් වෙනකොට අපිට විවිධ මිනිස්සු මුණගැහෙනවා,ගණුදෙනු කරනවා,විවිධ රැකියා කරනවා,විවිධ සමාජ මට්ටම්වල පුද්ගලයින් ආශ්‍රය කරන්න ලැබෙනවා.

මේක සාමාන්‍ය තත්වයක්.මෙවන් තත්වයකින් ඈත වෙලා අපි හුදෙකලා වෙලා ඉන්න උත්සහ කරොත් අපි සක්‍රීය සමාජ ජීවියෙක් කියන තැනින් පහලට වැටෙනවා. සරලවම කියනවා නම් සමාජයක් තුල ජීවත් වෙනකොට අපිට හුදෙකලා වෙලා තනියම ජීවත් වෙන්න බෑ.

හැබැයි කථිකත්වය කියන දේ ලොකුවට ඔපමට්ටම් නොවුනත් කලින් කියපු සමාජය තුල අදහස් හුවමාරු කරගෙන පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්.නමුත් ඒක එහෙම වෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා මුණගැහෙන විවිධ පිරිස් එක්ක ගණුදෙනු කරනකොට විතරයි.එතනින් එහාට තියන අවශ්‍යතා,අවස්ථා සාර්ථකව ජයගන්න ඔය කියන හැකියාව ප්‍රමාණවත් වෙන්නේ නෑ.

නමුත් කථිකත්වය ,එහෙමත් නැත්තන් ආකර්ශනීය විදිහට අදහස් ප්‍රකාශ කිරීම කියන දේ සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා මුණගැහෙන අය සමග ආගිය තොරතුරු කතා කරන විලාශයට එහා ගිය ටිකක් සංකීර්ණ තත්වයක්.

මේක ගොඩක් වෙලාවට බලපාන්නේ යම්කිසි පුද්ගලයෙක් රැකියා කරන පරිසරය තුල,දේශපාලන ලෝකය තුල,ව්‍යාපාරික ලෝකය තුල,විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුල, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් තුල වගේ විශේෂ පිරිස් වලට.

ඒකට හේතුව ඒ කියපු බොහොමයක් අවස්ථාවල ආකර්ශනීය ලෙස කතා කරන,අනෙක් පාර්ශව එක්ක කරන සන්නිවේදන කාර්ය ඉතා ඵලදායී ආකාරයට කරන ඕනෑම කෙනෙකුට ඉහල පිළිගැනීමක් මෙන්ම ඉහල ආකර්ෂණයක් නිරායාසයෙන්ම ඇති වෙන නිසා.

ඒ නිසයි කථිකත්වයෙන් සන්නද්ධ ඕනෑම කෙනෙකුට තමන්ගේ ඉලක්කවලට සහ අරමුණු වලට බොහොම ඉක්මනින් සමීප වෙන්න පුළුවන් වෙන්නේ.හැබැයි මතක තියාගන්න අවශ්‍ය දෙයක් තමයි පුද්ගලයෙක්ගේ කථිකත්වය ඉහලින් තිබුනට ඔහුගේ හෝ ඇයගේ ආකල්ප සහ ඇවතුම් පැවතුම්වල සොභාවයත් සාර්ථකත්වයට ලොකු බලපෑමක් කරන බව.කොයි තරම් හොද දක්ෂ කථිකයෙක් උනත් නිවැරදි ඉලක්කයක්,නිවැරදි ආකල්ප සහ යහපත් ගතිගුණ වලින් දුර්වල කෙනෙක්නම් කලින් කියපු සාර්ථකත්වයේ ගමන වෙනස් වෙන්න පුළුවන්.

කොහොම වුනත් දක්ෂ කථිකයෙක් කියන්නෙ කාගේත් අවදානය සොරාගන්න පුළුවන්,තමන්ට වාසිදායක ලෙස තමන් වටේ ඉන්න පිරිස් ආකර්ෂණය කරගන්න පුළුවන් පුද්ගලයෙක්.

දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් "මට එහෙම හොද හැකියාවක් නැනේ.. මට මගේ කථිකත්වය දියුණු කරගන්න බැරිද? " කියල. 

ඒකට උත්තරේ තමා " පුළුවන් " කියන එක. හැබැයි ඔබ උනන්දු වෙන්න ඕනි.ඔබ ඒකට මහන්සි වෙන්න ඕනි.එහෙම උනොත් තමා ඔබේ දක්ෂතාවය ඔපමට්ටම් කරගන්න පුළුවන් වෙන්නේ.

බහුතරයක් දෙනෙකුට තියන ගැටළුවක් තමා විවෘත සභාවක් ඉදිරියේ හෝ පිරිසක් ඉදිරියේ කතාකරන්න ගිහාම දැනෙන අධික නොසන්සුන්කම.මෙන්න මේ නොසන්සුන්කමත් එක්ක එන භය සහ ලජ්ජාශීලී බව නිසා සිතුවිල්ලක් එනවා තමන්ට වරදීද. අනික් අය තමන්ගේ අඩුපාඩුවලට හිනා වෙයිද කියල.

මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට කරන්නේ එවැනි අවස්තාවන් මග අරින එක.එහෙම මග අරින්නම බැරි අවස්තාවක නම් තමන්ට දැනෙන භයත් එක්ක ඒ අවස්ථාවට මුහුණ දුන්නත්, ඒ මොහොතේ තමන්ට දැනෙන කායික මානසික අපහසුතාවය ඒ පුද්ගලයාව දැඩි පීඩාවකට පත් කරනවා.

කොහොම වුනත් මෙන්න මේ අපි කතා කරන කථිකත්වය කියන කුසලතාවය ඕනෑම පුද්ගලයෙක්ට සංවර්ධය කරගන්න පුළුවන් කියල නැවත සැරයක් මතක් කරනවා.

ඒකට කරන්න වැඩ ටිකක් තියනවා.ඒ අතරින් ප්‍රධානම දේ තමා සතතාභ්‍යාසය.එහෙමත් නැත්තන් නිරන්තර පුහුණුව..

මෙන්න මේ පුහුණුව තනි තනිවම කරන්න පුළුවන් වගේම කණ්ඩායමක් විදිහට, ප්‍රවීනයෙකුගේ අධීක්ෂණය සහ මග පෙන්නවීම මතත් කරන්න පුළුවන් දෙයක්.

මේ කියපු ක්‍රම දෙක අතරින් දෙවැනි ක්‍රමය බොහොම ඵලදායී ක්‍රමයක්. ඒ නිසා කථනය ගැන අත්දැකීම් තියන කෙනෙක් සමග සමීපව ගණුදෙනු කරල අත්දැකීම් ලබන එක සාර්ථක කථිකයෙක් වෙන්නත්, ඔබේ වෘතීය ගමන ශක්තිමත් කරගන්නත් වගේම ඔබේ පෞර්ෂ සංවර්ධනයටත් විශාල මග පෙන්වීමක් වෙනවා. 

ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි කථිකත්වය දුර්වල වෙන්න මනෝවිද්‍යාත්මක හේතුත් සම්බන්ධ වෙලා තියනවා කියන දේ.ඒ අතරින් Phobia සහ Anxiety කියන මානසික තත්ව ප්‍රධාන තැනක් ගන්නවා.එකේදී Social Phobia සහ Social Anxiety කියන තත්වය මෙන්න මේ අපි කතා කරන කථිකත්වය දුර්වල වෙන්න හේතු වෙනවා.

ඒ නිසා මෙන්න මේ තත්වයන් ගැන හොද අවබෝධයක් ලබාගෙන, එවැනි ගැටළු පවතිනවානම් එම ගැටලුත් මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තුලින් විසදගෙන ඉදිරියට යන්න පුලුවන්නම් ඔබටත් දක්ෂ කථිකයෙකු,ආකර්ශනීය පුද්ගලයෙකු ලෙස මෙච්චර කාලයක් ඔබට ලං නොවුණු සාර්ථකත්වයක ප්‍රතිඵල භුක්ති විදින්න පුළුවන්.

ඒ නිසා පරක්කු නොවී අදම ඒ ගැන හිතල බලන්න.



Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post