දුක සතුට සමව විමසන "මනෝ උපදේශනය සහ ජීවිතය" Why do you want to understand about Psychological Counseling?

 




මනෝවිද්‍යාත්මක උපදේශනය විද්‍යාත්මක න්‍යායන් භාවිතා කරමින් පුද්ගල මනෝ සමාජීය සංවර්ධනය සඳහා රුකුල් දෙන අධ්‍යාපනික හා චිකිත්සක ක්‍රියාවලියකි.පුද්ගල මනස නිරවුල් බවට පත් කර, පුද්ගලයා මානසික පීඩාවන්ගෙන් මුදා ගැනීමට භාවිතා කළ හැකි මානව ඉංජිනේරු ක්‍රියාවලිය මනෝ උපදේශනය තුල ඉතා සාර්ථකව සිදු කළ හැකිය.

මෙම මනෝ උපදේශනය, පුද්ගලයා මුහුණ දෙන විවිධ වූ චිත්තවේගික ගැටලුවලට පිළියම් ලබාදෙමින් පුද්ගලයා සමාජය සමග ගැටෙන විට ඇතිවන අන්තර් පුද්ගල සබදතා වල ගැටලුකාරී අවස්ථා සඳහා නිසි විසදුම් සොයා ගැනීමට අත්වැලක් සපයයි.එනම්,පුද්ගලයාට නිවැරදි මොහොතේ නිවැරදි හෝ වඩා සුදුසු තීරණ ගැනීම සඳහා මග පෙන්වාදී ආත්ම ශක්තිය,ආත්ම සම්මානය වැඩිදියුණු කර පුද්ගලයා තුල ඇති සැඟවුණු හැකියාවන් සංවර්ධනය කිරීමට හා ඔහුට එම හැකියා අවබෝධ කර ගැනීමට අවශ්‍ය උත්තේජනය සපයනු ලබයි.

මනෝ උපදේශනය යනු හුදෙක් පුද්ගලයා දෙස විවේචනාත්මක කෝණයකින් බලා එම පුද්ගලයාව විනිශ්චයකට ලක් කිරීමක් නොවන අතර,මේ තුලින් සිදුවන්නේ පුද්ගලයාගේ ගැටලුව දෙස ඉතා මානුෂීය කෝණයකින් බලා ඔහු පීඩා විඳින එම ගැටළුවට වඩාත්ම සුදුසු පිළියම සොයා දී ගැටලුව නිරාකරණය කර ගැනීමට අත්වැල සැපයීමයි.

එමෙන්ම මනෝ උපදේශනය මගින් පුද්ගලයා සතු බාහිර හා අභ්‍යන්තර ශක්තීන් ඵලදායි ලෙස යොදා ගැනීමට හා එමගින් සාර්ථක ප්‍රතිඵල අත්පත් අරගනීමටත්,අන්තර් පුද්ගල සබදතාවය ශක්තිමත් කරගැනීම මගින් ජීවිතයේ කටයුතු පහසු කිරීමත්,ඇතුළු පුද්ගලයා සතුව ඇති පෞර්ෂය සාධනීය ලෙස සංවර්ධනය කරමින් ඔහු සමාජය තුල,සිය ජීවිත කාලය තුල මුහුණ දෙන විවිධ පීඩාකාරී අවස්ථාවන්ට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය පදනම නිර්මාණය කර දෙයි.

 බොහෝ පුද්ගලයින් තමා මුහුණ දෙන විවිධ ගැටලුවලදී, ගැටළුවට හේතු පාදක වූ යතාර්ථවාදී පසුබිම හා එයට වඩා ගැලපෙන විසදුම සොයා ගැනීමට අපොහොසත් වේ.එවැනි අවස්ථාවකදී මනෝ උපදේශනය මගින් පුද්ගලයා සමග එකට එක්ව ගැටලුවේ යතා සොභාවය හා එමගින් සිය චර්යාව තුල සිදුව ඇති වෙනස හදුනා ගනීමත්,ඒ හේතුවෙන් ඔහුට මුහුණ දීමට සිදුව ඇති තත්වයත් යන කාරණා දෙකම මන ලෙස අවොබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.අවසානයේදී තමා මුහුණ දී ඇති ගැටලුව මනාව අවබෝධ කරගැනීම තුල ඒ සඳහා විසදුම් සොයාගැනීමට ඇති ශක්තිය තමා තුලින්ම ජනිත කරවීමට අවශ්‍ය පසුබිම් මනෝ උපදේශනය මගින් මනා ලෙස නිර්මාණය කරයි.   

තවත් වැදගත් කරුණක් වන්නේ මනෝ උපදේශන ක්‍රියාවලිය තුලදී පුද්ගලයා මුහුණ දෙන ක්ලමථය පාලනය කිරීමයි.ඒ හේතුව නිසාවෙන් පුද්ගලයාගේ සෞක්‍ය සංරක්ෂණය ඉහල දමා සෞක්‍ය වර්ධනය කිරීමට අඩිතාලම දමනු ලැබේ.ඒ අනුව පැහැදිලි වන්නේ මනෝ උපදේශනය යනු පුද්ගල මානසික ක්‍රියාවලිය යහපත් අතට හරවා පුද්ගලයා මුහුණ දෙන විවිධ වූ මානසික පීඩාවන්ට අවශ්‍ය නිවැරදි විසදුම් ඔහු තුලින්ම ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන විෂය ක්ෂේත්‍රයක් බවයි.එය නිවැරදිව යොදා ගැනීම තුල සමස්ත සමාජයම ඉතා නිරවුල් මනසකින් කටයුතු කරන, පුද්ගල මනෝ සමාජීය වටිනාකම් අවබෝධ කරගත්, නිවැරදි ආකල්ප හා අදහස් වලින් පෝෂණය වූ ජාතියක් ලෙස ගොඩනැගීමට හැකි බව පැහැදිලි වේ.


වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුල එදාට වඩා වැඩි ඉල්ලුමක් , වැඩි අවදානයක් දිනාගත් ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස මනෝ උපදේශන විෂය  වර්ධනය වෙමින් පැවතීම ඉතා සතුටට කාරණාවකි.මනෝවිද්‍යාව පිලිබඳ විමසා බැලීමේදී පුද්ගලිකව මා විශ්වාස කරන්නේ,රටක් ලෙස සංවර්ධනයෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමාන්තරව එරට තුල ජීවත්වන පුරවසියාගේ මානසික සංවර්ධනයද ඉහල මට්ටමකට රැගෙන ආ යුතු බවයි.

එයට හේතුව වන්නේ භෞතික වශයෙන් කෙතරම් දියුණුවක්,සාර්ථකත්වයක් අත්පත් කරගත්තද පුරවැසියාගේ මානසික සංවර්ධනය දුර්වල වූ අවස්තාවකදී සමාජය තුල පැනනගින මානසික අසහනකාරී, පීඩාකාරී බව පුද්ගල ජීවිතයේ ආධ්‍යාත්මිකව විශාල සිදුරක් නිර්මාණය කිරීමයි.මෙම තත්වය අවමකරමින් මානුෂික ගුණාංග සපිරි,මානසික වශයෙන් නිරෝගී බැවින් යුතු ජාතියක් නිර්මාණය කර ගැනීමට නූතන මනෝවිද්‍යාව ඉතා ප්‍රභල සාධයක් බවට පත් කරගත හැකිය.නමුත් ශ්‍රී ලාංකීය සමාජය තවමත් එවන් තැනකට ගමන් කිරීම දියුණු රටවල් හා සමග සංසන්දනය කිරීමේදී මන්දගාමී බවක් පෙන්නුම් කරන්නේ අතීතයේ පටන් අපට උරුම වූ ශ්‍රේෂ්ඨ දර්ශනයක් වූ බුදු දහම සමග අප ඉතා දැඩි බැඳීමකින් සිටින නිසා විය හැකිය.

බෞද්ධ දර්ශනය ලොව මෙතෙක් පහල වූ විශිෂ්ටතම,තර්කයට අනුකූල,විමුක්ති මාර්ගයේ ප්‍රතිමුර්තියක් බඳු දර්ශනයක් බවට කිසිදු තර්කයක් නොමැත.නමුත් ගැටලුව ඇත්තේ වර්තමාන සමාජය විසින් මෙම විශිෂ්ට දර්ශනය දහමක් ලෙස හිස මුදුනේ තබාගෙන තර්කානුකුල බවට, ජීවිත විචාරයට මුලික අවදානයක් ලබා නොදී, වල්මත් වූ අයුරින් කටයුතු කිරීමකි.වර්තමාන සමාජයේ වෙසෙන ඇතැම් බෞද්ධ භික්ෂුන් තම අනුගාමිකයින්ට විමුක්ති මාර්ගය නිවැරදිව පෙන්වාදීම පසෙකලා ජාතිය රැකගැනීමක් පිළිබඳව කථා කරමින් ආගමික අන්තවාදයක් කරා සමස්ත බෞද්ධ ජනතාවම තල්ලු කිරීමට උත්සහ කරන්නේ බෞද්ධ දර්ශනයේ මුලික හරයද පසෙකලමිනි.ඒ සඳහා ජනමාධ්‍ය මගින් ලැබෙන නොමසුරු වගකීම් විරහිත ප්‍රචාරණය  තවත් ප්‍රබල බලපෑමක් කරනු ලබයි.නමුත්  බුදුන්ගේ කියවීම වුයේ තමාගේ විමුක්තිය සොයා යාම අන් සෑම දෙයටම වඩා උසස් බවයි.නමුත් අද සමාජයේ සිදුවන්නේ තමාගේ විමුක්තිය සලසා ගැනීම පසෙකලා රට ජාතිය රක ගැනීමේ නොනිමි අරගලයක නිරත වීම තුල සමස්ත සමාජයම ද්වේශසහගත මානසිකත්වයකට තල්ලු වීමයි.මේ තුල සැබෑ දේශමාමකත්වය එලෙසම පවතීද යන ගැඹුරු ප්‍රශ්නය මතුවන්නේ ඒ බොහෝදෙනා තමන්ගේ පටු දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් සමාජය ඉදිරියේ නිරුවත් වන වර්තමාන සමාජ තත්වයමතය.

බෞද්ධ දර්ශනයේ අඩංගු සෑම කරුණක් තුලම මනස සන්සුන් කිරීමට,මනස සැහැල්ලු කිරීමට,ජීවිතයේ සංකීර්ණ බව විනිවිධ දැකීමට අවශ්‍ය මාර්ගය ඉතා පැහැදිලිව පෙන්වා දෙන  වටපිටාවක, එවන් වූ විශිෂ්ට දර්ශනයක් මගින් පුද්ගලයාගේ මානසික සංවර්ධනයට අවශ්‍ය නිවැරදි පාර සොයා ගැනීමට අප පමා වී ඇති බව නූතන සමාජය දෙස දෙනෙත් විවර කර බැලු කළ වැටහේ.එවන් පරිසරයක් තුල විද්‍යාත්මක අධ්‍යනයන් මගින් සනාථ කරන ලද න්‍යායන් භාවිත කිරීම මගින් පුද්ගල මානසික සංවර්ධනයට අවශ්‍ය මාර්ගෝපදේශය සැපයීම කෙතරම් නම් වටිනා කටයුත්තක් වේද? ඒ අතරතුර අනාදිමත් කාලයක් තුල ශ්‍රීලාංකීය සමාජය තුල දළු ලා වැඩුණු බෞද්ධ දර්ශනයේ හරයන් සම්මිශ්‍රණය වීම තුල මෙරට ජීවත්වන පුරවැසියාගේ මනස කෙතරම් සොදුරු තැනකට ගෙන ආ හැකිද?


මනෝ උපදේශනය වර්තමාන සමාජයට වඩ වඩාත් අවශ්‍ය වන්නේ උපදේශන ක්‍රියාවලිය මගින් පුද්ගලයා කෙරෙහි අවදානය යොමුවන නිසයි. එමගින් ඔහු මුහුණ දෙන චිත්තවේගික ගැටලුවලින් මිදීම හේතුවෙන් ප්‍රචණ්ඩත්වය,ආත්ම හානිය,සියදිවි නසා ගැනීම ආදී ප්‍රවනතාවයන් අවම කරයි. එසේ ඔහු වඩාත් යහපත් මානසිකත්වයක් කරා ගෙන යාම තුල සමාජයේ කුඩාම තැනුම් ඒකකය හෙවත් පවුල  ශක්තිමත් වේ.ඒ අනුව පුද්ගල සමාජානුයෝජනයේ මුලික අඩිතාලම ඉතා නිවැරදි හා ක්‍රමවත් අයුරින් සැකසෙන විට පුද්ගලයාගේ චිත්තවේගයන් නිවැරදි හා වඩා යහපත් අයුරින් ක්‍රියාත්මක වන විට ඔහුගේ චර්යාවන්ද සමාජයට වඩාත් ගැලපෙන අයුරින් ක්‍රියාත්මක වේ.ඒ අනුව සමාජය තුල දක්නට ලැබෙන අසහන කාරී මානසිකත්වයන් අවම වී වඩාත් සුභවාදී පරිසරයක් නිර්මාණය වේ.

මනෝ උපදේශනය මගින් සිදුවන තවත් ඉතා වැදගත් කාර්යභාරයක් වන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය අඩු කර ගැනීමට පසුබිම සැකසීමයි.බීමත්කම නිසා සිදුවන බොහෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම් තුල දක්නට ඇති ළමා මානසික අසහනය වර්ධනය,පවුල් ජීවිත වලට එල්ලවන අයහපත් ප්‍රතඵල,ආර්ථිකමය බිදවැටීම් ආදිය  අවම කරගෙන යහපත් ජීවිතයක් කරා යොමු වීමට මෙම මනෝ උපදේශනය යොදා ගත හැකිව ඇත.එමෙන්ම ශ්‍රම ඵලදායිත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය මැදිහත් වීම ලබා දීම තුල,ආයතනික පරිසරයේ ඇතිවන ගැටුම් අවම කර ගැනීමට කටයුතු කිරීම තුල,සේවක තෘප්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම තුල, ආර්ථික වර්ධනය ලගා කරගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් බොහෝ පාර්ශව වලට වඩා සුභවාදී ප්‍රතිඵල භුක්තිවිඳිය හැකි වේ. මනුෂ්‍ය ජීවිතය යනු ඉතා වටිනා උරුමයකි.එහි ඇති අර්ථසම්පන්න බව සංවර්ධනය කිරීම සඳහා මිනිසා විසින්ම ගොඩනගා ගන්නා ලද විවිධ දර්ශනයන් ඔස්සේ සමාජය ඉදිරියට ඇදී යන අතර එමගින් මිනිසත්කමට තව තවත් වටිනාකම් ලබා දේ.මේ හේතුව නිසා මිනිස් සිත සන්සුන්,හික්මුණු බවකින් පවත්වාගෙන යාමට රුකුලක් ලැබෙන නිසා සමාජයක් තුල මිනිසාගේ මැදිහත් වීමෙන් සිදුවන බොහෝ ව්‍යසන මගහරවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේ.

මනෝ උපදේශනයද එම ශක්තිය තව තවත් වර්ධනය කරන අතර මිනිසා සතු දුර්වලකම් හදුනාගෙන ඒවා මගහරවා ගැනීමටත්,මිනිසා සතු ගුණවත්කම් හදුනාගෙන ඒවා තව තවත් පෝෂණය කර ගැනීමටත් අවශ්‍ය හැකියාව ඒ තුලින් නිබඳවම ලැබේ.මනෝ උපදේශනයේ වැදගත්කම් අතර පුද්ගලයාගේ මානසික සෞක්‍ය වර්ධනයක් ඇතිකරනවාට අමතරව කායික සෞක්‍ය ඉහල නංවා ගැනීමටද අවශ්‍ය පසුබිම නිර්මාණය වේ.එමගින් පුද්ගලයා මුහුණ දෙන විවිධ වූ රෝග පීඩා අවම කර ගනිමින් නිරෝගීමත් කායික මානසික ජීවිතයක් ගත කිරීමට මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය හැකියාව නිරන්තරයෙන් ලගාකර දේ.




Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post