මාරාන්තික ලෙඩක් තිබෙන බව ඔබට හිතෙනවද? එහෙමත් නැත්තන් යම්කිසි අසනීපයක් ගැන හිත වද දෙනවද? (Learn about illness Anxiety)




අසනීප කියන දේවල් කාටත් හැදෙනවා.ඒක ලෝක සොභාවය.එකේදී බාල මහළු,දුප්පත් පොහොසත්,බලය ඇති බලය නැති කියල බේදයක් නෑ ඔය කියන කොයි කාටත් අසනීප වෙන්න පුළුවන් කියන එක තමා මේකෙ තේරුම.

හොදට මතක තියා ගන්න අසනීප කියන ඒවා ප්‍රධාන කොටස් දෙකක් තියනවා. එකක් තමයි කායික රෝග.අනික් එක තමයි මානසික රෝග.අද වෙනකොට මෙන්න මේ කොටස් දෙකම ඉතාමත් සීඝ්‍ර වශයෙන් , වැඩි වැඩියෙන් ඉහල යනවා.

ඒකට විවිධ හේතු තියනවා.ඒවගෙන් සමහර හේතු ගැන ඔබ දැනුවත් කියල මම හිතනවා.කොහොම වුනත් අද අපි මේ කතා කරන කාරණාවට යොමු වෙන්න අවශ්‍ය නිසා ඒ කියපු අනික් හේතු ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තුවක් නැ.ඉතාමත් කෙටියෙන් කියනවනම් විවිධ පුද්ගලයන්ගේ ඇවතුම් පැවතුම්,සමාජ රටාවන්,ආහාර පාන,ව්‍යායාම සහ ජාන ගත හේතු වගේ ප්‍රධාන කොටස් වලට ඇතුලත් කරල ඒ ගැන කතා කරන්න පුළුවන්.

නමුත් අද කතා කරන්නේ කායික රෝගයක ලක්ෂණ මතුවෙලා, ඒ හේතුවෙන් යම්කිසි පුද්ගලයෙක්ගේ මානසික නිරෝගී බව විශාල වශයෙන් බිඳ දමන රෝගයක් ගැන.මේක සම්පුර්ණයෙන්ම මානසික ගැටළුවක්.

ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි..

අපි හිතමු X කියල පුද්ගලයෙක් ඉන්නවා. ඔහු බොහොම නිරෝගී වයස අවුරුදු 30 ත් 35 ත් අතර වගේ වයසක පුද්ගලයෙක්.කිසිම කායික රෝගයක් තියන බවක් බාහිරින් බලන කෙනෙකුට පේන්න නැහැ.නමුත් ඔහු නිතරම හිතනවා තමන්ට යම්කිසි අසනීපයක් තිබෙන බව.

උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔහු හිතනවා කියල තමන්ගේ හදවතේ යම්කිසි දෝෂයක් තියනවා, එහෙමත් නැත්තන් තමන්ගේ ශරීරය තුල පිළිකාවක් වර්ධනය වෙනවා, එහෙමත් නැත්තන් තමන්ට HIV / AIDS වගේ දරුණු වෛරසයක් ශරීර ගතවෙලා කියල හිතනවා කියල.

මේ වගේ පිරිස් ඕනි තරම් සමාජයේ ඉන්නවා.නමුත් සමහර විට ගොඩක් අය තමන්ට දැනෙන මානසික කැළඹුන සොභාවය එළියට පෙන්නන්නේ නැතුව ලොකු මානසික අරගලයක් කරල හිත ඇතුලේ තද කරගෙන ඉන්නවා.

මෙතන තමා ඒ පුද්ගලයාට වරදින තැන.මේ විදිහට මනස එක්ක කරන අරගලයේ අවසාන ප්‍රතිපලය උග්‍ර කාංසාව.එහෙමත් නැත්තන් Severe Anxiety. අපි මේ වගේ තත්වයක් හඳුන ගන්නේ Illness Anxiety කියන නමින්.ඒකට හේතුව මෙම කංසා ජනක තත්වය ඇතිවෙන්නේ යම්කිසි රෝගයක් ගැන මතුවෙන සිතුවිලි හේතු වෙලා නිසා.

අපි මේකට ගොඩක් හොඳ උදාහරණයක් ගමු. එක්තරා දවසක මගේ ලඟට සේවාලාභියෙක් එනවා.වයස අවුරුදු 34 යි.ඔහු ඇවිත් මට කිව්වේ,

 “Sir මට නිතරම හිතෙනවා මට Heart Attack එකක් එන්න වගේ , සමහර වෙලාවල් වලට මගේ පපුවේ වම්පැත්ත රිදෙන්න ගන්නවා. හුස්ම ගන්න අමාරුයි.කරකැවිල්ල වගේ, මම Cardiologist කෙනෙක් ලඟට ගියා නමුත් ඔහු කිව්වේ බයවෙන්න දෙයක් නෑ එහෙම තත්වයක් medical reports වල පෙන්නන්නේ නෑ කියල”

මෙන්න මේක තමා ඔහුගේ තත්වය... බැලූ බැල්මට හදවත් රෝගයක ලක්ෂණ ගොඩක් තියනවා. නමුත් ඊට අදාළ වෛද්‍ය වාර්තා සාමාන්‍යයයි.හදවත ලෙඩවෙලා කියල පෙන්නන්නේ නෑ.. නමුත් ඔහුට තවමත් කලින් කියපු රෝග ලක්ෂණ එහෙමම තියනවා.

එතකොට එතන අවුලක් මතුවෙනවනේ. එක්කෝ මගේ සේවා ලාභියාට වෙනත් ප්‍රශ්නයක් තියෙන්න ඕනි. එහෙමත් නැත්තන් ඔහුව පරීක්ෂා කරපු හෘද රෝග විශේෂ‌‍ඥ වෛද්‍යවරයාට වරදින්න ඕනි.එහෙමත් නැත්තන් වෛද්‍ය පරීක්ෂණ කරපු යන්ත්‍ර හෝ ඒ අදාළ උපකරණ වලයම් දෝෂයක් මතුවෙලා ඔහුගේ පරීක්ෂණ වලට අදාළ වාර්තා වල ප්‍රථිපල වරදින්න ඕනි.

ඔබට හිතෙන විදිහට මෙතන මොකක් වෙලා ඇතිද? බොහොම පැහැදිලි මෙතන තියෙන්න පුළුවන් හේතුවට වැඩි බරක්,වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මම කලින් කියපු මගේ සේවා ලාභියාගේ අවුලක්.. ඒ අවුල තියෙන්නේ ඔහුගේ කායික ගැටළුවක් විදිහට නෙවේ මානසික ගැටළුවක් විදිහට.

දැන් මෙන්න මේ තත්ත්වෙත් එක්ක මම ඔහු සමග කතා කරන්න පටන් ගන්නවා.මම ඔහු සමග ඔහුගේ පසුගිය ඉතිහාසය ගැන කතා කරා, ඔහු කරන රැකියාව,පවුලේ තොරතුරු,ඔහු මෑතක මුහුණ දුන්න දුක්ඛ සහගත අත්දැකීම්, මැතක මුහුණ දුන්න අමිහිරි අත්දැකීම්, ඒ වගේම හෘද රෝගයක් ගැන ඔහු තුළ තියන දැණුම කොයි වගේද කියන එකත් මම විමසල බැලුව.

මේ විදිහට පැය භාගයක් විත‍ර මම මගේ සේවාලාභියා එක්ක කතා කරනකොට ඔහුගේ පවතින තත්වයට සාධාරණ හේතු රාශියක් අනාවරණය කරගන්න මට පුළුවන් වුනා.මොනවද මේ හේතු...?

මේ අතරින් ප්‍රමුඛතම හේතුව තමා මගේ මේ සේවාලාභියාගේ ආදරණීය මවගේ වියෝව. ඇය මිය යන්න හේතුව හදිසි හෘදයාබාධයක්.විශේෂම දේ තමා ඇය මිය යන්නේ තමාගේ පුතාගේ උකුල මත. ඒ කියන්නෙ මම මේ කියන මගේ සේවාලාභියාගේ උකුල මත.

මේක ඔහුගේ ජීවිතේට විශාල මානසික බලපෑමක් කරනවා.ඒ අනුව මේ හේතුවෙන් ඔහු විශාල කැළඹීමකට පත්වෙනවා. පසු කාලීනව ඔහු විශ්වාස කරන්න ගන්නවා තමන්ගේ මව මිය ගිය ආකාරයටම තමනුත් හදිසි  හෘදයාබාධයකින් මිය යයිද කියල. ඒ අනුව ඔහු හෘදයාබාධයක් ඇතිවෙන ආකාරය, හෘදයාබාධයක රෝග ලක්ෂණ වගේ දේවල් ගැන අන්තර්ජාලය මගින්,පුවත්පතත් තොරතුරු මගින්,දන්න කියන අයගේ මාර්ගයෙන් හොයා ගන්නවා.

ඒ අනුව ඔහු හෘදයාබාධයක් ගැන අනික් වෙනත් කෙනෙකුට වඩා හොදට දැනුවත් මේ වෙනකොට.දැන් මොකද වෙන්නේ.මේකම ඔහුට පාරා වළල්ලක් වෙන්න ගන්නවා.

සාමාන්‍යයෙන් Anxiety කියන රෝග කාණ්ඩයේ කොටස් කීපයක් තියනවා. ඒ අතරින් එකක් Generalized Anxiety කියන කොටස..මේකෙදි වෙන්නේ මේකයි.දැන් මම කිව්වා මගේ සේවා ලාභියා හිතනවා තමන්ට හෘදයාබාධයක් තියනවා කියල.. දැන් මේ සිතුවිල්ලත් එක්ක ඉන්නකොට ඔහුට සමහර වෙලාවල් තියනවා විශාල භයක් දැනෙන.මෙන්න මේ වගේ වෙලාවල් වලදී ඔහුගේ ශරීරය අභ්‍යන්තරයේ විවිධ ශාරීරික වෙනස්කම් වෙන්න ගන්නවා.උදාහරණයක් විදිහට දහඩිය දැමීම,වෙවිලීමක් දැනීම.හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ දේවල්..

දැන් මොකද වෙන්නේ මෙන්න මේ වෙනස්කම් තමන්ට දැනෙනකොට ඔහු හෘදයාබාධයක් ඇතිවෙනකොට මතුවෙනවාය කියන තමන් ඉගන ගත්ත රෝග ලක්ෂණ එක්ක සංසන්දනය කරල බලනවා. එතකොට ගොඩක් ලක්ෂණ සමාන බවක් ඔහුට තේරෙනවා.

මේ තත්ත්වෙත් එක්ක ඔන්න දැන් ඔහු තුල තියන සාමාන්‍ය භය මරණ භයක් දක්වා වර්ධනය වෙනවා.අපි මේකට කියනවා Panic Attack එකක් කියල.ඔහු ඉතාමත් දරුණු ලෙස පීඩා විදින මානසික තත්වයක් තමා මේක.

අපි මේ කතා කරපු Generalized Anxiety , Panic Attack වගේ තත්ත්ව ඔක්කොම Anxiety කියන කාණ්ඩයට අයිති දේවල්.එතකොට අපි මේ මෙච්චර වෙලා කතා කරපු සේවලාභියාටත් තියෙන්නේ Anxiety කියන ප්‍රධාන රෝග තත්වයේ එන Illness Anxiety කියන තත්වය.ඒකට එහෙම කියන්න හේතුව ඔහුට එම කංසා ජනක තත්වය නිර්මාණය වෙන්න හේතුව ගොඩනගන්නේ තමන්ට අසනීපයක් තියනවාය කියන සිතුවිලි ඔහුගේ මනස තුල නිර්මාණය වීම.

සමහර වෙලාවල් වලට මේ තත්වය දීර්ඝ කාලයක් පවතින්න පුළුවන්.ඒක හරියට නිදන්ගත රෝගයක් වගේ..

මේ වගේ මානසික තත්වයකින් පීඩා විඳින කෙනෙක් දැඩි අසරණ බවකට පත්වෙනවා.ඒ අනුව විවිධ වෛද්‍යවරු හොයාගෙන යන්න,විවිධ පරීක්ෂණ කරන්න වගේම දීර්ගකාලීනව මේ තත්වය පවතින්න පවතින්න විශාදය එහෙමත් නැත්තන් Depression තත්වයට පවා පත්වෙන්න පුළුවන්.

ඔබත් මෙවැනි මානසික අසහනයකින්,පීඩාවකින් ඉන්නවනම්, එහෙමත් නැතිනම් ඔබ දන්න ඔබේ හිතවතෙක් මේ වගේ මානසික පීඩාවකින් ඉන්නවනම් වඩා සුදුසු ක්‍රමය තමා සුදුසුකම් ලැබූ මනෝ උපදේශකයෙක් වෙත යොමු කරන එක.

ඒ අනුව ඔහු අදාළ රෝගියා සමග කරන කතාබහ තුල අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරාවි.ඇතැම් අවස්තාවලදී ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නම් මනෝ වෛද්‍යවරයෙක් වෙතට මුලින් ඔහුව යොමුකර ඉන්පසුව රෝග තත්වයේ යම් පාලනය වීමක් සමග නැවත උපදේශන කාර්ය ආරම්භ කරාවි.

මේ සියල්ලක් සඳහා අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුවයි.රෝගය පාලනය කර ගැනීමට හෝ රෝගය සම්පුර්ණයෙන්ම මනසින් ඉවත් කර ගැනීම ඔබේ උනන්දුව සහ කැපකිරීම මත තීරණය වන දෙයක්.ඖෂධ නිසි ලෙස භාවිතා කරන එක සහ ඔබේ සිතුවිලි වල ප්‍රතිනිර්මාණාත්මක කාර්ය කියන දේ මෙම ප්‍රතිකාර තුල සහ උපදේශන කාර්ය තුල ඇතුලත්.

ඒ නිසා ජීවිතයේ බොහෝ දේවල් අතපසු කරන.ඔබව එකතැන සිර කර තබන්න හේතු වෙන මේ රෝග තත්වය ගැන හොද අවබෝධයකින් කටයුතු කරල එයින් ගොඩ එන්න කටයුතු කරන්න.ඔබට ලොකු සැනසීමක් දැනේවි..  




Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post